සල්මාන් හා ශකීල් පාකිස්තානය යළි සටනට අවතීර්ණ කරයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (17) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම සමව හිමි කරමින්.

අද දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්.

අද දිනය සදහා ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 23 ක් යොමු කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුව පළමු දින දෙකේදී වර්ෂාව හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ පන්දුවාර සංඛ්‍යාව 47 ක්.

අද දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මාන් ලකුණු 61 ක් හා සවුද් ශකීල් ලකුණු 69 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවී ගියා. කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ඉමාම් දැවී ගිය අතර, අබ්දුල්ලාහ් ශෆික් දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.

පන්දු 30 කින් වේගවත් ලකුණු 39 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරමින් සිටි ශාන් මසූඩ්ගේ කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

නායක බාබර් අසාම් රැස් කළේ ලකුණු 13 ක් පමණයි. සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ ප්‍රභාත් ජයසූරියයි.

ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් අවධානම් සහගත තත්ත්වයකට පත්ව සිටි පාකිස්තාන ඉනිම යළි ගොඩ නැගීමේ වගකීම කරට ගත් අගා සල්මාන් හා සවුද් ශකීල් මේ වන විට 6 වැනි කඩුල්ල සදහා ගොඩ නගා ඇති සම්බන්ධතාවය ලකුණු 120* (148)ක්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගැනීමට සමත්ව ඇත්තේ ලකුණු 83 ක් ලබා දෙමින්.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 312 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් අද සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ ගැළවුම්කරු වූ ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළා. පන්දු 214 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත්.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 යි. කසුන් රාජිත ලකුණු 8කට දැවී යාමත් සමගයි ශ්‍රී ලංකා ඉනිම අවසන් වුණේ. විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 21 යි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ද‍, සධීර සමරවික්‍රම ලකුණු 36 ක් ද, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක මැතිව්ස් හා ධනංජය 5 වැනි කඩුල්ලට ලකුණු 131 (198) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 86 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නසීම් ශාහ් ලකුණු 90 කට කඩුලු 3 ක් බිද හෙලුවා. අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 68 ක් ලබා දෙමින්.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 91 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...