ශූරයින්ගේ කුසලානය දකුණු අප්‍රිකාවට ? පාකිස්තානය තරගාවලිය වර්ජනය කරන ලකුණු

Date:

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට නොපැමිණීමට තීරණය කිරීමත් සමග පාකිස්තානය දැඩි තීරණ කිහිපයක් ගැනීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තරගාවලිය දෙමුහුන් ක්‍රමවේදය යටතේ පාකිස්තානයේ දී හා වෙනත් රටකදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රසිද්ධියේම විරෝධය පල කර ඇති බැවින් තරගාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් රටකදී පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමු වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ දැනුම් දීම මත සිය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව පසුගිය සතියේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) වෙත දන්වා තිබූ අතර, ඒ අනුව පසුව ඒ සම්බන්ධයෙන් අයි.සී.සීය පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැනුවත් කළා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද පාකිස්තාන රජයෙන් උපදෙස් ලබා ගැනීමටයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට පියවර ගෙන ඇත්තේ.

දෙමුහුන් ක්‍රමවේදය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීමට (බොහෝ විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී) පාකිස්තානය එකග නොවන්නේනම් සම්පූර්ණ තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දීමට අයි.සී.සීය කටයුතු කරනු ඇති බවට වාර්තා පලව තිබෙනවා.

තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමට අයි.සී.සීය තීරණය කළහොත් ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකර තරගාවලිය වර්ජනය කරන ලෙසට පාකිස්තාන රජයෙන් එරට ක්‍රිකට් ආයතනයට උපදෙස් ලැබෙනු ඇති බව සදහන්.

එමෙන්ම ක්‍රීඩාව හා දේශපාලනය එකට සම්බන්ධ වී උද්ගතව ඇති තත්ත්වයට විසදුම් ලැබෙන තුරු ඉදිරියේදී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී තරගාවලියන් සදහා ක්‍රීඩා නොකිරීමට ද පාකිස්තානය පියවර ගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තවද අයි.සී.සී හා ආසියානු කුසලාන තරගාවලියන්හීදී ඉන්දියාව සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසට ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයට එරට රජය උපදෙස් ලබා දෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පලව තිබෙනවා.

මෙලෙස පාකිස්තානය දැඩි ක්‍රියාමාර්ග ගතහොත් එය මූල්‍යමය වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැඩි අලාභයක් සිදු කරනු ඇති.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද දෙමුහුන් ක්‍රමවේදය යටතේ පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැති අතර, ඉන්දියාව ක්‍රීඩා කළ සියලු තරග පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදීයි.

ආසියානු කුසලානයට ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීමට තීරණය කළ පසුබිමක වුවද පාකිස්තානය 2023 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ සංචාරය කළා. ඉන්දියාවේ පැවැති 2016 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ද පාකිස්තානය ක්‍රීඩා කළා.

පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියේ තරග කාලසටහන ද ඊයේ නිවේදනය කිරීමට නියමිතව තිබූ නමුත්, පවතින තත්ත්වය මත එය ද කල් දැමීමට අයි.සී.සීයට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...