ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් වෙනසක් සිදු වන ලකුණු

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට මාසයකට ආසන්න කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධ අර්බුදයකට මුහුණ දී සිටින බව අප මීට පෙර ද ඔබට තොරතුරු වාර්තා කළා.

දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී යි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස ආබාධවලට ලක් වුණේ.

ඒ අතරින් පාදයක ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරාට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ හැකියාව තවදුරටත් පවතින බවට විශ්වාස කෙරෙනවා.

ඔහු ලබන 23 වනදා ද යළි වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති අතර, අනතුරුව කුසල් සම්බන්ධයෙන් ඉදිරි තීන්දු තීරණ ගනු ඇති.

කෙසේ වෙතත්, ආබාධයකට ලක් වූ ළහිරු මදුෂංකට එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථා අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති.

ඔහුගේ ආබාධය සුව වීමට සති 6-8 අතර කාලයක් ගත වන බව සදහන්.

ළහිරු මදුෂංක වෙනුවට කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සංචිතයට කැදවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය තරගාවලි කිහිපයකදී ම මිනෝද් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ද එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ ඔහුට ස්ථානයක් හිමි වූයේ නැහැ.

අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනා අතරට ද ඔහු ඇතුළත් නොවුණු නමුත්, ළහිරු මදුෂංකගේ ආබාධ තත්ත්වය මෙන්ම කුසල් ජනිත් වෙනුවට යොදා ගත හැකි අමතර කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස සළකා බලා මිනෝද් භානුක සංචිතයට කැදවීමට ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මේ වන විට දින 10ක පමණ විවේක කාලයක් ලැබී ඇති අතර, එළඹෙන ඕමාන තරග සංචාරය හා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අරමුණු කර ගනිමින් සැප්තැම්බර් අවසන් සතියේ දී ඔවුන් යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඕමාන සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඕමානය අතර 20යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. එම තරග ඔක්තෝබර් 7 හා 9 යන දිනවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) සංවිධාන කරන පුහුණු තරග දෙකක් සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. එම තරග දෙක ඔක්තෝබර් 12 හා 14 යන දිනවලදී පැවැත්වෙනු ඇති.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...