ශ්‍රී ලංකාවේ සටන පසෙකලා දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් ; වාර්තා රැසකුත් බිද වැටෙයි

Date:

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක හා දසුන් ශානකගේ සටන්කාමී ඉනිම් පසෙකලා දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ සුපිරි පිතිහරඹය හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 102 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(7) සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 326 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් පෙරේරා රැස් කළේ ලකුණු 7ක් පමණයි.

කෙසේ වෙතත්, ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 42 කින් ලකුණු 76 ක් වාර්තා කළා. හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 23 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 11 කටත් දැවී ගියා. සටන්කාමී ඉනිමක නිරත වූ චරිත් අසලංක ලකුණු 79(65) ක් ලබා ගත්තා. අසලංක හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් සමගින් සිය ඉනිම ගොඩ නැගුවා. දුනිත් වෙල්ලාලගේ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පසුගිය තරගවලදී ලකුණු අතරට පිවිසීමට නොහැකිව සිටි දසුන් ශානක මෙම ඉනිමේ දී පන්දු 62 කින් ලකුණු 68 ක් වාර්තා කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්.

කසුන් රාජිත ලකුණු 33(31) ක් වාර්තා කරමින් දකුණු අප්‍රිකාවේ ජයග්‍රහනය ප්‍රමාද කළා.

පන්දු යැවීමේ දී ජෙරාල්ඩ් කොට්සී ලකුණු 68 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන්, කේෂාව් මහරාජ් හා කාගිසෝ රබාඩා  කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 428 ඉතිහාසගත වුණේ ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශතක 3 ක් වාර්තා වුණා. ලෝක කුසලාන තරගයකදී එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනෙකු එලෙස ශතක වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 100(84) ක් ලබා ගත් අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 108(110) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 204 (174) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අනතුරුව සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඒඩ්න් මාක්‍රම් පන්දු 54 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 106 ක්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 14 ක් සමගින්. ඔහු පන්දු 49 කින් සිය ශතකය වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසයි.

ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 39(21) යි. පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් දවා ගත්තා.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ලකුණු ප්‍රමාණයේ එකතුව 754 ක් වූ අතර, එය ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...