ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18).
අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 389 ක්.
දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 76 ක් ලබා ගැනීමට සමත් වුණා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සවුද් ශකීල් ලකුණු 161 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහු අද වාර්තා කළේ සිය දෙවැනි ටෙස්ට් ශතකයයි. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත්. නසීම් ශාහ් නොදැවී ලකුණු 1 (39) යි.
ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමක සවුද් ශකීල් හා ආගා සල්මාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 177 (218) ක්.
සල්මාන් පන්දු 113 කින් ලකුණු 83 ක් ලබා සිටියදී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.
නෝමන් අලී ලකුණු 25 කට දවා ගැනීමට ද රමේෂ් මෙන්ඩිස් සමත් වුණා. ශහීන් ශාහ් අෆ්රිඩි දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු 9ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවා ගත් අතර, කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් ලබා ගත්තා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 77 ක්.

