ජඩේජාගේ හයේ හා හතරේ පහර හමුවේ අවසන් පන්දුවේ දී චෙන්නායි 5 වැනි වරටත් IPL ශුරතාවය දිනයි

Date:

වර්ෂාවෙන් සිදු වූ බලපෑම් මැද පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5ක ජයක් වාර්තා කරමින් පස්වැනි වරටත් අයි.පී.එල් ශූරයින් බවට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක එම් එස් දෝනි පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ගුජරාට් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණේ ඉනිමේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වීමෙන් අනතුරුවයි. අනතුරුව තරගය පැය දෙකයි මිනිත්තු 20 ක පමණ කාලයක් නතර කිරීමට සිදු වුණා.

පසුව තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 15 කදී ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කයක් චෙන්නායි කණ්ඩායමට ලබා දෙමින්. චෙන්නායි පිල ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 6.3 ක් තුළ ලකුණු 74 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රුටුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ සමත් වුණා. ගයික්වඩ් ලකුණු 26(16) කට දැවී ගිය අතර, එම පන්දුවාරයේ දී ම කොන්වේ ලකුණු 47(25) කට දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ නූර් අහ්මඩ් විසින්.

අජින්කෙයා රහානේ පන්දු 13 කින් ලකුණු 27 ක් ද, සිය අවසන් අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ අම්බටි රයිදු පන්දු 8 කින් ලකුණු 19 ක් ද ලබා ගනිමින් චෙන්නායි පිල ජයග්‍රහනය ආසන්නයට රැගෙන ඒමට සමත් වුණා. රයිදු දැවී යන විට චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහනය සදහා අවශ්‍ය වූයේ පන්දු 14 කදී ලකුණු 23 ක් පමණයි. කෙසේ වෙතත් එම් එස් දෝනි පළමු පන්දුවෙන්ම දැවී යාමත් සමග තරගයේ පාලනය යළි ටයිටන්ස් කණ්ඩායම වෙත කෙමෙන් කෙමෙන් නතු වුණා.

© BCCI

නමුත්, ශිවම් ඩූබේ පන්දු 21 කින් නොදැවී ලකුණු 32 ක් හා රවීන්ද්‍ර ජඩේජා පන්දු 6 කින් නොදැවී ලකුණු 15 ක් ලබා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා. අවසන් පන්දු දෙකට තරගය ජය ගැනීමට ලකුණු 10 ක් අවශ්‍ය වූ අතර, මොහිත් ෂර්මා යොමු කළ එම පන්දු දෙකට හයේ පහරක් හා හතරේ පහරක් එල්ල කරමිනුයි ජඩේජා විසින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ.(දර්ශන පහතින් නරඹන්න)

පන්දු යැවීමේ දී මෝහිත් ෂර්මා ලකුණු 36 කට කඩුලු 3 ක් ද, නූර් අහ්මඩ් ලකුණු 17 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 39(20) කට දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජාගේ පන්දුවක් හමුවේ මහේන්ද්‍ර සිං දෝනි විසින් සිදු කළ විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් හමුවේයි. ව්රිධිමන් සහා පන්දු 39 කින් ලකුණු 54 ක් රැස් කළා.

ඉනිමේ නැංගුරම බවට පත් වූ සායි සුදර්සන් ලකුණු 96 ක් රැස් කළේ පන්දු 47 කින්. හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 21(12) යි.

© BCCI

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්. සායි සුදර්සන් හා රෂීඩ් ඛාන් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියා. මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවාර 4 තුළ දී ඔහුට එරෙහිව ලකුණු 36 ක් වාර්තා වුණා. දීපක් චහාර් හා රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ඉනිම ආරම්භයේ සිට චෙන්නායි පන්දු රකින්නන් දුර්වල පන්දු රැකීම්වල නිරත වූ අතර, ඒ හේතුවෙන් කඩුලු දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් ඔවුන් අතින් ගිලිහී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...