වාර්තාගත පරාජය වාර්තා අතරට එක් වූ හැටි ; ලෝක කුසලානයට යන්න ශ්‍රී ලංකාව කළ යුතු දේ ?

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමින් අද(25) නිමා වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම පන්දුවාර 49.3 කට සීමා කරමින් සියලු පිතිකරුවන් ලකුණු 274 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණයි.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකාව අද තරගයේ දී රැස් කළ ලකුණු 76 වාර්තා අතරට එක් වුණේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව වාර්තා කළ 5 වැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ශ්‍රී ලංකාව එක්දින ඉතිහාසයේ දී වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාව වන්නේ 2012 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ ලකුණු 43 යි. ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 73 කට දැවී ගිය අතර, එය එක්දින ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව දැවී ගිය සිව්වැනි අවම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්. ඒ අනුව පිට පිට එක්දින තරග දෙකකදී එක්දින ඉතිහාසයේ වාර්තාගත අවම ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව දැවී ගොස් තිබීම කැපී පෙනෙනවා.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙස ද ශ්‍රී ලංකාව අද වාර්තා කළ ලකුණු 76 වාර්තා අතරට එක් වුණා.

අද ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාවට මේ වන විට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 8 සදහා පමණක් අවස්ථාව පවතින අතර, මේ වන විටත් නවසීලන්තය, සත්කාරක ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව 8 වැනි ස්ථානය දිනා ගනිමින් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම බවට පත් වීමට මේ වන විට බටහිර ඉන්දීය කොදෙව්වන්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ දී එක්දින තරග තුනම ජයගත්තේ නම් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 107 ක් ලබා ගනිමින් ගැටලුවකින් තොරව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබුණා. කෙසේ වෙතත්, අද ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අවිනිශ්චිතව පවතින අතර, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය ඉදිරියේ දී ක්‍රීඩා කරන තරගාවලියන්හි ප්‍රතිපල අනුව එය තීරණය වනු ඇති.

කෙසේ වෙතත්, ඒ සදහා ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකම අනිවාර්යයෙන්ම ජය ගත යුතු අතර, එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් අනෙකුත් තරගාවලියන්හි ප්‍රතිපල කුමක් වුවත්, ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත නොහැකි වනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේ දී නෙදර්ලන්තයට එරෙහිව එක්දින තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අයර්ලන්ත කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලි දෙකෙන් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත් පමණයි ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත හැකි වන්නේ.

සුපර් ලීගය සදහා රටවල් 13 ක් ඇතුළත් අතර, ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා නොගන්නා රටවල් 5 සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කළ යුතු වනවා. එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති තවත් රටවල් 5 ක් ද ක්‍රීඩා කරන අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් පමණක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...