එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
වම් පාදයේ ආබාධයකට ගොදුරු වීමෙන් පසුව මෙතෙක් සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගැනීමට ඔහු අසමත් වීම හේතුවෙන් බෙයාර්ස්ටව්ට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.
ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ දී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී යි එම පාදයේ ආබාධයට මුහුණ දුන්නේ. අනතුරුව ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.
මෙවර තරග වාරයේ දී ද බෙයාර්ස්ටව් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙනුයි.
ඔහුට තරගාවලිය අහිමි වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් ශෝර්ට් සමග 2023 තරග වාරය වෙනුවෙන් ගිවිසුම්ගත වීමටයි පංජාබ් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.
නිමා වූ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ මැතිව් ශෝර්ට් එම තරගාවලියේ දී ලකුණු 458 ක් රැස් කළේ තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද පත් වෙමින්.

