වසර 10 කට පසු ඔස්ට්‍රේලියාව BGT ශූරතාවය දිනමින් WTC අවසන් තරගයට සුදුසුකම් ලබයි

Date:

ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, සිඩ්නිහීදී පැවැති ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු අත්හැරීමට ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සිදු වුණා. ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

පස්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු හයක් දැවී ලකුණු 141 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්. ඒ අනුව දෙවැනි ඉනිමේදී තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 162 ක්.

එම ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ක් දැවී සිටියදී සපුරා ගනිමින් ඔස්ට්‍රේලියාව තරගාවලියේ ජය තහවුරු කර ගත්තා. ඔවුන් බෝර්ඩර්-ගවස්කාර් කුසලානය ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

සෑම් කොන්ස්ටස් ලකුණු 22 ක් හා උස්මාන් කවාජා ලකුණු 41 ක් ලබා ගත් අතර, මර්නස් ලබුෂේන් ලකුණු හයකටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 4කටත් දැවී ගියා. ස්මිත් මේ වන විට ටෙස්ට් පිටියේදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 9,999 ක්. ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 34 ක් හා මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ බෙයු වෙබ්ස්ටර් නොදැවී ලකුණු 39 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 ක් දවා ගත්තා. ඊයේ දිනයේදී පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක් වූ ජස්ප්‍රිට් බුම්රා මෙම ඉනිමේදී පන්දු යැවීම සදහා පිටියට පිවිසියේ නැහැ. කෙසේ වෙතත්, ඔහු අද පෙරවරුවේදී පිතිකරණයේ නිරත වීම සදහා පිටියට පිවිසි නමුත් ඔහු ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...