ලකුණු 192 ක ජයක් සමග ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනියි

Date:

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 192 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරග 2-0 ක් ලෙස තරගාවලියේ ජය වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

තරගයේ පස්වැනි හා අවසන් දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 318 ක්.

මෙම තරගාවලියේ දී ඔවුන් ලකුණු 200 සීමාව පසු කළ පළමු අවස්ථාව මෙය වීම කැපී පෙනුණා. බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 50 ක් හා මෙහිදි හසාන් මිරාස් නොදැවී ලකුණු 81 ක් ලබා ගත්තා.

ලිටොන් දාස් ලකුණු 38 කටත්, ශකිබ් අල් හසාන් ලකුණු 36 කටත් දැවී ගියා.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස තයිජුල් ඉස්ලාම් ලකුණු 14 කට දවා ගත්තේ කමිදු මෙන්ඩිස් විසින්. අනතුරුව හසාන් මහ්මුද්ගේ (ලකුණු 6) හා කලෙඩ් අහ්මඩ්ගේ (ලකුණු 2) කඩුලු දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 50 කට කඩුලු 4ක් දවා ගත් අතර, කමිදු මෙන්ඩිස් ලකුණු 32 කට කඩුලු 3ක් බිද හෙලුවා. ප්‍රභාත් ජයසූරිය දවා ගත් කඩුලු ගණන දෙකක්.

චිතගොං හි (Chattogram) පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 531 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය ලබා ගත්තේ ලකුණු 178 ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණූ 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ කමිදු මෙන්ඩිස්.

මෙම තරගයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අදින් අවසන් වනවා. මෙම සංචාරයේ දී දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවත්, එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස බංග්ලාදේශයත් ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...