මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 45 වන තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරමින් ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.
මුම්බායි හි වන්කඩේ ක්රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.
ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 23(13)කට දැවී ගියා. යළිත් සාර්ථක ඉනිමක් දියත් කළ නායක කේ. එල් රාහුල් පන්දු 51ක් වැය කරමින් ලකුණු 77ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමගින්.
දීපක් හූදා ලකුණු 52(34)යි. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.
පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ ශර්දුල් තාකූර් විසින්.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
ආරම්භක පිතිකරුවන් වූ ප්රිත්වි ෂෝට හා ඩේවිඩ් වෝනර්ට සාර්ථක වීමට මෙම තරගයේ දී ලක්නව් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ෂෝ ලකුණු 5කට දැවී ගියේ දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවක් හමුවේ ක්රිෂ්නප්පා ගොව්තම් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. (දර්ශන පහතින්) වෝනර් ලකුණු 3කට දැවී ගියා.
මිචෙල් මාෂ් පන්දු 20කින් ලකුණු 37ක් ලබා සිටියදී දැවී ගියේ ගොව්තම් යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්රීඩක ක්වෙන්ටන් ඩී කොක් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. එම අවස්ථාවේ දී මාෂ් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්රමවේදය භාවිතා නොකිරීමට තීරණය කළේ තමා දැවී ගිය අයෙකු බව ඔහු විසින් ද පිළිගැනීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව පිත්තේ නොවැදී කඩුලු රකින්නා වෙත ඇදී යන බවයි.
නායක රිෂාබ් පාන්ට් ලකුණු 44(30)ක් රැස් කළ අතර, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 42ක් වාර්තා කළේ පන්දු 24කින්. පටෙල්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහරක් ඇතුළත්.
රොව්මන් පවෙල් ලකුණු 35(21)කට දැවී ගියා.
පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.
දුෂ්මන්ත චමීර සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 44ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත්තා.
— cric sl (@cricslvideo) May 1, 2022

