රසල්-රදර්ෆර්ඩ්ගේ ලෝක වාර්තා අලුත් කළ සම්බන්ධතාවය හමුවේ කොදෙව්වන්ට සැනසුම්දායක ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 37 ක ජයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සැනසුම්දායක හා ජයග්‍රාහී අවසානයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(13) සමත් වුණා.

ඒ, කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් අන්ඩ්‍රි රසල් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ගොඩ නැගූ ලෝක වාර්තා අලුත් කළ සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින්.

පර්ත් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220 ක්.

කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ල පන්දුවාර 8.4 ක් තුළ ලකුණු 79 කට දැවී ගිය පසුබිමකයි රසල් හා රදර්ෆර්ඩ් 6 වැනි කඩුල්ලට අනර්ඝ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

ඔවුන් දෙදෙනා පන්දු 67 කින් ලකුණු 139 ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී 6 වැනි කඩුල්ලට ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවය ලෙසයි ඉතිහාසගත වුණේ.

අන්ඩ්‍රි රසල් පන්දු 29 කින් ලකුණු 71 ක් ලබා ගත් අතර, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67 ක්. රසල්ගේ වේගවත් ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වුණා. රදර්ෆර්ගේ ඉනිම හයේ පහර හා හතරේ පහර 5 බැගින් වර්ණවත් කළා. රොස්ටන් චේස් ලකුණු 37(20) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනූ Xavier Bartlett ලකුණු 37 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 183 ක් පමණයි.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 49 කින් අගනා ලකුණු 81 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 9ක් සමගින්. මෙය ඔහු ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගයයි. ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 41(19) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් ලකුණු 19 කට කඩුලු දෙකක් දවා ගත් අතර, රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 31 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

මෙම තරගයෙන් කොදෙව්වන් ජය ගත්ත ද, දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...