රට වෙනුවට ෆ්‍රැන්චයිස් ලීග් තෝරා ගත් ඇෆ්ඝනිස්තාන ප්‍රබලයින් තිදෙනෙකුට වැඩ වරදියි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මුජීබ් උර් රහ්මාන්, ෆසල්හක් ෆරූකි හා නවීන් උල් හක්ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානයට ක්‍රීඩා කිරීමට වඩා ඔවුන් සිය පෞද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දෙමින් ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රීඩා කිරීමට මුල්තැන දීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන් තිදෙනාට 2024 වසර සදහා වන වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීම ප්‍රමාද කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් තිදෙනාට ඉදිරි වසර දෙකක කාලය සදහා විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර (NOC – no-objection certificates) ලබා නොදීමට ද තීරණය කළ බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මේ වන විට ඔවුන්ට විදෙස් ලීග් තරගාවලි වෙනුවෙන් ලබා දී ඇති අවසර ද අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වන විට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්) වෙනුවෙන් මුජීබ් උර් රහ්මාන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ද, ෆසල්හක් ෆරූකි සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ද, නවීන් උල් හක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග ද ගිවිසුම්ගත වී තිබෙනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ අදාළ ක්‍රීඩකයින් තිදෙනා 2024 වසරේ ජනවාරි පළමු වැනිදා සිට වාර්ෂික මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වීමට අවශ්‍ය බව එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබූ බවයි.

ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විශේෂ කමිටුවක් පත් කළා. එම කමිටුව විසින් නිර්දේශ තුනක් එරට ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබෙනවා. එනම්,

  1. 2024 ජනවාරි පළමු වැනිදා සිට ඔවුන්ට වසරක කාලයක් සදහා මධ්‍යම කොන්ත්‍රාත් ලබා නොදීම. (ඔවුන් ක්‍රීඩා කරන තරගාවලි මොනවාදැයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අවශ්‍ය වූ විට තීරණය කරනු ඇත)
  2. වසර දෙකක කාලයක් සදහා NOC ලබා නොදීම හා මේ වන විට ලබා දී ඇති NOC වහාම අවලංගු කිරීම.
  3. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ස්ථාවරය ක්‍රිකට් ප්‍රජාවට – ICC, ACC, සාමාජික රටවල් / ක්‍රිකට් ආයතන, සහ ඇෆ්ගනිස්ථාන මහජනතාවට – විනිවිද භාවයෙන් සන්නිවේදනය කිරීම.

කොල්කටා කණ්ඩායම විසින් පසුගිය 19 වැනිදා පැවැති අයි.පී.එල් වෙන්දේසියේ දී මුජීබ් මිලදී ගත්තේ ශ්‍රී ලංකා රුපියල් කෝටි 7.8 ක මුදලකටයි. ඔහු මේ වන විට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිනවා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...