බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(5) පැවැත්වෙනවා.
ඒ, සිව්වරක් ලෝක යොවුන් ක්‍රිකට් ශූරයින් වූ ඉන්දියාව හා 1998 වසරේ ලෝක යොවුන් ක්‍රිකට් ශූරයින් වූ එංගලන්තය අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් පරාජයට පත්ව නොතිබීම විශේෂත්වයක්.
මේ අතර, තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(5) අලුයම සමත් වුණා.
ඒ, තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැති තරගයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කරමින්.
ඇන්ටීගා හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 201 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පන්දුවාර 49.1ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(202/8)
ඒ අනුව ඇෆ්ඝනිස්තානය සිව්වැනි ස්ථානය හිමි කර ගනිමින් මෙවර තරගාවලිය අවසන් කළ අතර, පස්වැනි ස්ථානය පාකිස්තානයටත්, 6 වැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමි වුණා.

