මුල් පෙල පිතිකරුවන් යළි අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරදියි

Date:

මුල් පෙල පිතිකරුවන් යළි අසාර්ථක වීම හේතුවෙන් නවසීලන්තය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113 ක පරාජයක් අත්විදිමින් තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම පරාජයට පත් වීමට (2-0) ශ්‍රී ලංකාවට අද(8) සිදු වුණා.

හැමිල්ටන්හීදී පැවැති තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්‍රමාද වූ අතර, තරගය ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දුවාර 37 කට සීමා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. නවසීලන්තය නියමිත පන්දුවාර 37 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 255 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 30.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 22 ක් තුළ දැවී ගියේ පළමු තරගයේදී ලකුණු 23 ක් තුළ පළමු කඩුලු 4 බිද වැටුණු පසුබිමකයි. පැතුම් නිස්සංක එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු දෙකකටත්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 10 කටත් දැවී ගිය අතර, චරිත් අසලංක ලකුණු 4 කට දුවද්දී දැවී ගියා.

අනතුරුව ජනිත් ලියනගේ හා කමිදු මෙන්ඩිස් ලකුණු 57 (68) ක සම්බන්ධතාවයක් 5 වැනි කඩුල්ලට ගොඩ නැගූ අතර, ජනිත් ලකුණු 22 කට දැවී ගියා. කමිදු හා චමිදු වික්‍රමසිංහ 6 වැනි කඩුල්ලට ලකුණු 47 (52) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. චමිදු දැවී ගියේ ලකුණු 17 ක් ලබා සිටියදී ඉනිමේ දෙවැනි දුවද්දී දැවී යාම ලෙසයි. වනිදු හසරංග ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. කමිදු ලකුණු 64 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී විල් ඕරෝක් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජේකබ් ඩෆී ලකුණු 30 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 79 ක් හා මාර්ක් චැප්මන් ලකුණු 62 ක් ලබා ගත් අතර, පළමු කඩුල්ල ලකුණු 31 දී දැවී යාමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 112 (91) ක්.

කෙසේ වෙතත්, අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොදින් සටනට අවතීරණ වෙමින් නවසීලන්ත ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය යම් තරමකින් පාලනය කිරීමට සමත් වුණා. ග්ලේන් පිලිප්ස් ලකුණු 22 කටත්, මිචෙල් සැන්ට්නර් ලකුණු 20 කටත් දැවී ගිය අතර, ඩැරල් මිචෙල් ලකුණු 38 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ ලකුණු 44 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඔහු මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීම ද කැපී පෙනුණා. නවසීලන්ත ඉනිමේ 35 වැනි පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී හා 37 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදීයි ඔහු එම කඩුලු ත්‍රිත්වය බිද හෙලුවේ. ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මිචෙල් සැන්ට්නර්, නේදන් ස්මිත් හා මැට් හෙන්රි යන පිතිකරුවන්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නෙකු එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් 10 වැනි අවස්ථාව මෙයයි. මීට පෙර චමින්ද වාස් අවස්ථා දෙකකදී ද, ලසිත් මාලිංග අවස්ථා තුනකදී ද, ෆර්විස් මහරුෆ්, තිසර පෙරේරා, වනිදු හසරංග, ශෙහාන් මදුෂංක එක් අවස්ථාව බැගින් ද කඩුලු ත්‍රිත්වයන් බිද හෙලා තිබෙනවා.

වනිදු හසරංග අද තරගයේදී ලකුණු 39 කට දවා ගත් කඩුලු ගණන 2 ක්. ඒෂාන් මාලිංග අද සිය මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල දවා ගත් නමුත්, ඔහුගේ පන්දුවාර 7 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 54 ක් රැස් කිරීමට සමත් වුණා. අසිත ප්‍රනාන්දු ද කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 54 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...