මැදපෙල සිදු වූ අරුමය ශ්‍රී ලංකාව අන්ත පැරදුමකට ඇද දමයි

Date:

ශ්‍රී ලංකා මැදපෙල පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක අන්ත පරාජයකට ලක්වීමට අද(7) සිදු වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 129ක ඉලක්කයක් පමණක් හිමි වූ අතර, එම ඉලක්කය ඔස්ට්‍රේලියාව පසු කර ගියේ පන්දුවාර 14ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.(134/0)

සිය 22 වැනි 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 44ක් පමණක් වැය කරමින්.

නායක ආරෝන් ෆින්ච් පන්දු 40කින් නොදැවී ලකුණු 61ක් රැස් කළා. ෆින්ච් අද වාර්තා කළේ සිය 20යි 20 ජාත්‍යන්තර දිවියේ 17 වැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් ද මෙම තරගයේ දී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 128ක් පමණයි.

ඒ, ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක හා චරිත් අසලංක සමත් වූ පසුබිමකයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 26කට දැවී ගිය අතර, අනතුරුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 46කින් ලකුණු 61ක සබදතාවයක් ගොඩ නැගීමට චරිත් අසලංක හා පැතුම් නිස්සංක සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.4ක් තුළ ලකුණු 100 සීමාව පසු කර ගියේ නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 160 සීමාව පහසුවෙන් පසු කර යනු ඇති බවට ඉගි පල කරමින්.

කෙසේ වෙතත්, අදාළ පන්දුවාරයේ (12 වැනි පන්දුවාරයේ) අවසන් පන්දුවේ දී මිචෙල් ස්ටක්ගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පැතුම් නිස්සංක ලකුණු 36කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා. ඒ, පන්දු 13ක් තුළ ලකුණු 3කට කඩුලු 4ක් දැවීයමින්.

ශ්‍රී ලංකා ඉනිමේ 14 වැනි පන්දුවාරයේ දී එක් ලකුණක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සමත් වීම විශේෂත්වයක්.

SLC

හේසල්වුඩ් මෙම තරගයේ දී සිය පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින්.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 28ක් තුළයි. චරිත් අසලංක ලකුණු 38ක් වාර්තා කළ අතර වනිදු හසරංග ලකුණු 17යි.

20යි 20 තරග පිටියේ දී මැද පෙල පිතිකරුවෙකු ලෙස දිගින් දිගටම අසාර්ථක වී සිටිය ද මෙම තරගයේ දී ද අංක 4 ස්ථානයේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් එක් ලකුණකට දැවී ගියා.

භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන් ද, නායක දසුන් ශානක දෙවැනි පන්දුවෙන් ද ලකුණු නොලබා දැවී ගියේ ඔස්ට්‍රේලියානුවන්ට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම හිමි කර දෙමින්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය හෙට(8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...