මැතිව්ස්, ධනංජය හා අෆ්රිඩිගේ දක්ෂතා හමුවේ පළමු දිනයේ ගෞරව දෙපිලටම සමව බෙදෙයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(16) ගාල්ලේ දී නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242 ක්.

වර්ෂාවෙන් තරගයට පෙරවරු කාලයේ දී හා පස්වරු කාලයේ දී බාධා එල්ල වූ බැවින් අද දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 65.4 ක් පමණයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා ලකුණු 94 (පන්දු 157) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ධනංජයගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

සධීර සමරවික්‍රම ලකුණු 36 (පන්දු 57) කට දැවී ගියේ දිනයේ අවසන් පන්දුවාරයේ දී යි. අගා සල්මාන්ගේ පන්දුවක් හමුවේ ඉමාම් උල් හක් රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේ සධීර දැවී ගියා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 ක් ලබා ගත්තා. මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් වුණා. ඔහු දැවී ගියේ අබ්‍රාර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහ්මඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 54 දී බිද වැටුණු පසුබිමක මැතිව්ස් හා ධනංජය 5 වැනි කඩුල්ලට ලකුණු 131 (198) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දැවී ගියේ ශහීන් ශාහ් අෆ්රිඩිගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

අනතුරුව කුසල් මෙන්ඩිස් ලකුණු 12 කට දවා ගැනීමට ද අෆ්රිඩි සමත් වූ අතර, නායක දිමුත් කරුණාරත්න ලකුණු 29 කට දැවී ගියේ ද අෆ්රිඩිගේ පන්දුවක් හමුවේයි.

දිනේෂ් චන්දිමාල් එක් ලකුණකට දැවී ගියා. ඒ, නසීම් ශාහ් යොමු කළ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඒ අනුව පළමු දිනයේ දී අෆ්රිඩි ලකුණු 63 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නසීම් ශාහ්, අබ්‍රාර් අහ්මඩ් හා අගා සල්මාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...