මැක්ස්වෙල්ගේ සටන අපතේ යයි – ඉන්දියාවට ලකුණු 13ක තියුණු ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඔවුන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, එක්දින තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස හිමි කර ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

කැන්බරාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 302ක් ලබා ගත්තා.

මෙම තරගය සදහා මයාන්ක් අගාර්වල් ක්‍රීඩා නොකළ බැවින් ඉන්දීය කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම සදහා පැමිණි ෂුබ්මන් ගිල් ලකුණු 33ක් රැස් කළ අතර, ශිකර් දවාන් ලකුණු 16කට දැවී ගියා.

නායක විරාට් කෝලි ලකුණු 63යි.

ඉනිමට මනා අවසානයක් ලබා දුන් හර්ඩික් පාන්ඩ්යා පන්දු 76කින් නොදැවී ලකුණු 92ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින්.

රවීන්ද්‍ර ජඩේජා හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 6 වන කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 150ක්.

අවසන් පන්දුවාර 5 තුළ දී ඉන්දියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76ක්.

පන්දු යැවීමේ දී ඇෂ්ටන් ඒගාර් ලකුණු 44කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 289ක් පමණයි.

ආබාධයක් හේතුවෙන් ඩේවිඩ් වෝනර් මෙම තරගයට ක්‍රීඩා නොකළ බැවින් ඉනිම ආරම්භ කළේ නායක ආරෝන් ෆින්ච් සමගින් මර්නස් ලබුෂේන්.

ලබුෂේන් ලකුණු 7කට දැවී ගියේ ටී.නටරාජන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල බවට එය පත් කරමින්.

ෆින්ච් ලකුණු 75කට දැවී ගිය අතර, පසුගිය තරග දෙකේදීම ශතක වාර්තා කළ ස්ටීව් ස්මිත් ලකුණු 7කට දැවී ගියා.

යළිත් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය ප්‍රදර්ශනය කළ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 59ක් රැස් කළේ පන්දු 38කට පමණක් මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් වූ අතර, ඔහු රිවර්ස් ස්වීප් පහරකින් එල්ල කළ දැවැන්ත හයේ පහර බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ එය මීටර් සියයක් දුරට එල්ල කිරීම හේතුවෙන් (දර්ශන පහතින්)

තරගයේ ජය ඉන්දියාව දෙසට දෝලනය වුණේ ග්ලේන් මැක්ස්වෙල්ගේ දැවී යාමෙන් අනතුරුවයි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 3ක් බිද හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා සහ ටී.නටරාජන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අවසන් තරගයේ වීරයා ලෙස හර්ඩික් පාන්ඩ්යා සම්මාන දිනා ගත් අතර, ස්ටීව් ස්මිත් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...