පැතුම්, චන්දිමාල් හා මැතිව්ස් දෙවැනි දිනයේ ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි

Date:

පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සාර්ථක පිතිහරඹය හමුවේ දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර Gqeberha හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (6) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා. ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 358 ට පිළිතුරු ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 116 ක්.

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය වැඩි ලකුණු සංඛ්‍යාවක් සහිත ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට ඔහුට නොහැකි වුණා. දිමුත් ලකුණු 20 කට දැවී ගියේ කාගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්යල් වෙරේන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 (172) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා දිනේෂ් චන්දිමාල් සමත් වුණා. එය 2014 වසරෙන් පසුව දෙවැනි කඩුල්ල සදහා දකුණු අප්‍රිකාවේදී සංචාරක කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගූ පළමු ශතක සම්බන්ධතාවය වීම කැපී පෙනුණා.

චන්දිමාල් ලකුණු 44 කට දවා ගත්තේ ඩේන් පැටර්සන් විසිනුයි. අනතුරුව පැතුම් හා මැතිව්ස් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 49 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් පැතුම් ලකුණු 89 කට දැවී ගියා. ඒ, කේෂාව් මහරාජ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. පන්දු 157 කින් වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 40 ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. මැතිව්ස් අද දිනයේදී සිය 8,000 වැනි ටෙස්ට් ලකුණ රැස් කිරීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කඩඉම පසු කළ තෙවැනි පිතිකරු ඔහුයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 269 ක්. දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 358 ක් කරා රැගෙන ගිය ක්යල් වෙරේන් නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තා. වෙරේන්ගේ ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 12 කින් වර්ණවත් වුණා.

කාගිසෝ රබාඩා ලකුණු 23 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. රබාඩා හා වෙරේන් අතර 9 වැනි කඩුල්ලට ලකුණු 56 (76) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් රයන් රිකල්ටන් ලකුණු 101 ක් රැස් කළ අතර, රිකල්ටන්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්. නායක ටෙම්බා බවුමා ලකුණු 78 යි. පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...