පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාව 300 ඉක්මවයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (24) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315 ක් ලබා සිටියා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42 ක් හා සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සදහා ඕෂද ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න අතර ලකුණු 92 ක සබදතාවයක් ගොඩ නැගුණා. ඕෂද ලකුණු 50 කට මොහමඩ් නවාස්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, පන්දු 70 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් ලකුණු 3ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි.

දිමුත් කරුණාරත්න ලකුණු 40 කට දවා ගැනීමට යසීර් ශාහ් සමත් වුණා. රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී නසීම් ශාහ් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.

අනතුරුව ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 75 ක සබදතාවයක් ගොඩ නැගුවා.

තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මැතිව්ස් ලකුණු 42 ක් රැස් කළා. පන්දු 106 කින් හතරේ පහර 5ක් සහිතව වාර්තා වූ ඔහුගේ ඉනිම අවසන් කළේ නොවුමන් අලී විසින්. කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් රිස්වාන් රැක ගත් උඩ පන්දුවක් හමුවේයි මැතිව්ස්ට තම 100 වැනි ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමේ අවස්ථාව ලකුණු 8කින් අහිමි වී ගියේ.

යළිත් පිත්තෙන් දක්ෂතා අතරට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබා සිටියදී දැවී ගියා. මොහමඩ් නවාස් යොමු කළ පන්දුවක් හමුවේ ෆවඩ් අලාම් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි චන්දිමාල් දැවී ගියේ.

චන්දිමාල් හා ධනංජය ද සිල්වා 5 වැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සබදතාවයක් පිහිටුවීමට ද සමත් වුණා. ධනංජය ලකුණු 33 කට දැවී ගියේ නසීම් ශාහ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

තරගය අද ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 96ක් රැස් කළ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85 ක්. තේ පානයේ සිට තරගය අද දිනට නතර කරන අවස්ථාව දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර, අද දිනයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් (ලකුණු 36 දී) හා නිරෝෂන් දික්වැල්ල (ලකුණු 24 දී) ලබා දුන් උඩ පන්දු දෙකක් පාකිස්තාන නායක බබාර් අසාම් අතින් ගිලිහී යාම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...