නජ්මුල්ගේ මංගල ශතකය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි – පළමු දිනයේ සියලු ගෞරව බංග්ලාදේශයට

Date:

නජ්මුල් හුසේන් ශන්ටො වාර්තා කළ මංගල ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව තමන් සතු කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(21) සමත් වුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වූයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 302ක් ලබා සිටියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටින නජ්මුල් හුසේන් ශන්ටො සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 126ක් ලබා සිටිනවා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

ටමිම් ඉක්බාල් සිය 29 වන ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කළ අතර, ඔහු දැවී ගියේ ලකුණු 90ක් ලබා සිටියදීයි. ( 90 (101) 4×15 )

ඒ, විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

බංග්ලාදේශ ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී ම සයිෆ් හසාන් ලකුණු නොලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ටමිම් ඉක්බාල් සහ නජ්මුල් හුසේන් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 144ක්.

ඉන් පසුව තෙවැනි කඩුල්ල සදහා නජ්මුල් සහ නායක මොමිනුල් හක් අතර මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 150ක්.

සිය 14 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ මොමිනුල් හක් නොදැවී ලකුණු 64යි.(4×6)

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකරන අතර, ඔහු වෙනුවට ඇන්ජෙලෝ මැතිව්ස් කණ්ඩායමට කැදවා තිබෙනවා.

එමෙන්ම ළහිරු කුමාර ද කණ්ඩායමට කැදවා ඇති අතර, ඔහු ඇතුළු වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් ශ්‍රී ලංකාව මෙම තරගයට එක්වීම විශේෂත්වයක්.

බංග්ලාදේශය ද වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් මෙම තරගයට එක්ව සිටිනවා.

වේග පන්දු යවන්නන්ට උචිත අයුරින් තණතීරුව සකසා තිබීම හේතුවෙන් කණ්ඩායම් දෙක විසින්ම එවැනි තීරණයක් ගනු ලැබුවද තණතීරුව පිතිකරුවන්ට ද වැඩි සහායක් ලබා දීම නිසා පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ප්‍රතිපල අත්කර ගැනීමට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...