දෝනිට හා මාගලාටත් ආබාධයක් ; චෙන්නායි ආබාධ අර්බුදය උඩුදුවද්දී මතීෂටත් අවස්ථාවක් ?

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි දණහිසක ආබාධයකට ගොදුරු වී සිටින බව කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් පවසනවා.

එය කඩුලු අතර දිව යාමේ දී ඔහුට බලපෑමක් එල්ල කර ඇති බවයි පුහුණුකරු කියා සිටියේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේ (12) පැවැති තරගයේ දී දෝනි පන්දු 17 කින් නොදැවී ලකුණු 32 ක් වාර්තා කළ නමුත්, කඩුලු අතර දිව යාම තරමක් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවා.

මෙවර තරග වාරය ආරම්භ වීමට පෙර පැවැති පුහුණුසැසිවලදී ද දෝනි දණහිසක ආබාධයෙන් පසුවන අයුරු දක්නට ලැබුණා.

ආබාධයකින් පසුවුවද ඔහු මෙවර තරග වාරයේ දී පිත්තෙන් සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත්ව ඇති අතර, මේ වන විට දෝනි ඉනිම් 3කදී ලකුණු 58 ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. ඒ, 215 ක පමණ ප්‍රහාරාත්මක වේගයක් ද සටහන් කර ගනිමින්.

ඊයේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමන් ස්ටීවන් ෆ්ලෙමින් සදහන් කළේ ක්‍රීඩකයින්ගේ ආබාධ ගැටලුව හේතුවෙන් සිය කණ්ඩායමට මේ වන විට ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් මත යැපීමට සිදුව ඇති බවයි.

ඊයේ තරගය අතරතුර දී චෙන්නායි කණ්ඩායමේ දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක සිසන්ඩා මාගලා ද ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට යැවීමට හැකි වූයේ පන්දුවාර 2 ක් පමණයි.

ආබාධය නිසා ඔහුට සති දෙකක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්. නවසීලන්තයේ ක්යිල් ජමීසන්ට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලිය අහිමි වූ බැවිනුයි ඔහු වෙනුවට මාගලා චෙන්නායි කණ්ඩායමට ආදේශ කරනු ලැබුවේ.

චෙන්නායි කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට ද ආබාධයක් හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියම අහිමි වී ඇති අතර, පසුගියදා පැවැති තරගයකදී පාදයක ආබාධයකට ලක් වූ දීපක් චහාර්ට ද සති දෙකක් හෝ 3ක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක සිමර්ජීට් සිං ද තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ. පාදයක ආබාධයක් හේතුවෙන් බෙන් ස්ටොක්ස්ට ද නිමා වූ තරග දෙක ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

මොයීන් අලී ද අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ක්‍රීඩා නොකළ නමුත්, ඊයේ පැවැති තරගය සදහා ඔහු ක්‍රීඩා කළා.

ඩ්වේයන් ප්‍රෙටෝරියස් ද සංචිතය සමග රැදී සිටින නමුත්, මේ වන විට චෙන්නායි සුපර් කිංග්ස් සංචිතය සමග රැදී සිටින අනෙක් විශේෂඥ විදෙස් වේග පන්දු යවන්නා වන්නේ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ පමණයි.

නවසීලන්ත සංචාරය නිමා කර ඔහු පසුගිය සදුදා රාත්‍රියේ දී චෙන්නායි නුවරට ළගා වූ අතර, කොවිඩ් 19 ආසාදනය වී ඔහු මේ වන විට සුවය ලබා වැඩි දිනක් ගතව නොමැති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

නමුත්, පවතින තත්ත්වය මත ඔහුට චෙන්නායි කණ්ඩායමට කඩිනමින් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වීමට ද ඉඩ පවතිනවා.

ඊයේ තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද ක්‍රීඩා කළ අතර, ඔහු යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 42 ක් වාර්තා කළා.

චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය බැංගලූරුහී දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...