දෙවැනි ටෙස්ට් තරගයේ පාලනය ශ්‍රී ලංකාව නතු වෙයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (25) නිමා වුණේ තරගයේ වැඩි පාලනය ශ්‍රී ලංකාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 7 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන යසීර් ශාහ් ලකුණු 13 (61) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. අගා සල්මාන් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 62 කට දැවී ගියේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 46 (115) ක සබදතාවයක් ගොඩ නැගුණා. අගා සල්මාන්ගේ දැවී යාමත් සමග අද දිනය සදහා තරගය නතර කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලාහ් ශෆික් ලකුණු නොලබා දැවී ගියේ ඉනිමේ දෙවැනි පන්දුවේ දී යි. අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් පිත්තේ ඇතුළු දාරයේ වැදී කඩුල්ලේ වැදීම හේතුවෙනුයි අබ්දුල්ලාහ් ශෆික්ට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

නායක බබාර් අසාම් ලකුණු 16 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහුද දැවී ගියේ පිත්තේ ඇතුළු දාරයේ වැදුණු පන්දුව කඩුල්ලේ වැදීම හේතුවෙන්. ඉමාම් උල් හක් ලකුණු 32 කට දැවී ගියේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

මොහොමඩ් රිස්වාන් ලබා ගත්තේ ලකුණු 24 ක් පමණයි. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ඔහු දැවී ගියා.

අනතුරුව ෆවඩ් අලාම් ලකුණු 24 කටත්, මොහමඩ් නවාස් ලකුණු 12 කටත් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගෙන ඇත්තේ පන්දුවාර 18 කදී ලකුණු 42 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ප්‍රභාත් ජයසූරිය ලකුණු 59 කට කඩුලු 2ක් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378 ක්.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක් ද, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් ද, දිමුත් කරුණාරත්න ලකුණු 40 ක් ද ලබා ගත්තා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා යසීර් ශාහ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 187 ක්.

මේ අතර, ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිට කොන්ද ආශ්‍රිත යම් ආබාධ තත්ත්වයකට ගොදුරු වී සිටින බැවින් ඔහු අද දිනයේ දී පන්දු රැකීම සදහා එක් වූයේ නැහැ.

මේ වන විට එම ආබාධය සදහා ඔහු ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

උප නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...