දෙවැනි ටෙස්ට් ගැටුමෙන් ඉන්දියාවට පෙරළිකාර ජයක්

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 120කට සීමා වීමත් සමගයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 298ක් ලබා සිටියදීයි.

ඉනිමේ 8 වන කඩුල්ල ලකුණු 209 දී දැවී ගියේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තය දෙසට නතු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව 9 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 89ක සබදතාවයක් ගොඩ නැගීමට මොහොමඩ් ෂාමි හා ජස්ප්‍රිට් බුම්රා සමත් වුණේ සියලු එංගලන්ත පන්දු යවන්නන් අසරණ කරමින්.

ෂාමි නොදැවී ලකුණු 56ක් ද, බුම්රා නොදැවී ලකුණු 34ක් ද රැස් කළා.

අජින්කෙයා රහානේ ලකුණු 61 හා චෙටස්වර් පුජාරා ලකුණු 45ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 3ක් ද, මොයීන් අලී හා ඔලී රොබින්සන් කඩුලු 2 බැගින් ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ රෝරි බර්න්ස් හා ඩොම් සිබ්ලි ලකුණු නොලබා දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජෝ රූට් ලකුණු 33ක් රැස් කළ අතර, එංගලන්තය පරාජයෙන් ගලවා ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වූ ජොස් බට්ලර් පන්දු 96කින් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් ද, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් ද දවා ගත්තා. ඉෂාන්ට් ෂර්මා කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් ෂාමි එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 364ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 391ක් ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ කේ.එල් රාහුල්.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...