දුනිත්ගේ ඉනිම හා ප්‍රමෝද්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ NSL එක්දින ශූරතාවය යාපනයට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට යාපනය කණ්ඩායම අද(19) සමත් වුණා.

අවසන් මහා තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 37කින් පරාජයට පත් වූයේ මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ මහනුවර කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායමට සිය ඉනිම අතරතුර වර්ෂාවෙන් ද බාධා එල්ල වූ අතර, අනතුරුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා කෙරුණා.

යාපනය කණ්ඩායම පන්දුවාර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 258ක්.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 74(87) ක් රැස් කරමින් යාපනය ඉනිම ශක්තිමත් කළා. රවිදු ප්‍රනාන්දු ලකුණු 41යි.

නිෂාන් මදුෂ්ක ලකුණු 36ක් හා නිමන්ද මදුෂංක ලකුණු 35ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 5ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට පන්දුවාර 45.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

කමිදු මෙන්ඩිස් ලකුණු 46 ක් හා සහන් ආරච්චිගේ ලකුණු 33 රැස් කළා. තික්ෂිල ද සිල්වා පන්දු 19කින් වේගවත් ලකුණු 37ක් රැස් කළේ හයේ පහර 3ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 59කට කඩුලු 4ක් දවා ගත්තා. නිමන්ද මදුෂංක ලකුණු 17කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස කඩුලු 19ක් දවා ගත් මහනුවර කණ්ඩායමේ පුලින තරංග සම්මානයෙන් පිදුම් ලැබුවා.

හොදම පිතිකරු ලෙස සම්මාන හිමි කර ගත්තේ ලකුණු 365 ක් රැස් කළ කොළඹ කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු.

තරගාවලියේ වීරයා ලෙස ධනංජය ද සිල්වා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, අවසන් තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ සම්මානයෙන් පිදුම් ලැබුවා.

අනුශූරතාවය දිනූ මහනුවර කණ්ඩායමට රුපියල් මිලියනයක මූල්‍ය ත්‍යාගයක් හිමි වූ අතර, ශූරතාවය දිනා ගත් යාපනය කණ්ඩායමට රුපියල් මිලියන දෙකක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...