දැවැන්ත හයේ පහරවල් 6 ක් සමගින් රසල් වේගවත්ම CPL අර්ධ ශතකය වාර්තා කරයි

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීගයේ තෙවැනි තරගය ඊයේ (27) නිමාව දුටුවේ, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව රොව්මන් පවෙල් නායකත්වය දරන ජැමෙයිකා තලාවාස් කණ්ඩායමට ලකුණු 120 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

එහිදී ජැමෙයිකා තලාවාස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාමී ඉනිමක් දියත් කළ ඇන්ඩ්‍රි රසල් පන්දු 14 ක් පමණක් වැය කරමින් නොදැවුණු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

එය වාර්තා අතරට එක් වුණේ CPL තරගාවලි ඉතිහාසය තුළ පිතිකරුවෙකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ජැමෙයිකා තලාවාස් කණ්ඩායමට ආරාධනා කළා.

එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් ජැමෙයිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 255 ක් රැස් කරමින්.

චැඩ්වික් වොල්ටන් පන්දු 29 කදී ලකුණු 47 ක් රැස්කළා. හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

කෙනාර් ලුවිස් පන්දු 21 කදී වේගවත් ලකුනු 48 ක් ලබා ගත්තේ හයේ පහරවල් 5 ක් ද සමගින්.

හෙයිදර් අලී පන්දු 32 කදී ලකුණු 45 ක් සහ නායක පවෙල් පන්දු 26 කදී ලකුණු 38 ක් රැස්කිරීමට සමත්වුණා.

ඉනිමේ අවසන් පන්දුවාර දෙක යොමු කළ පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍රි රසල්, පෙර සදහන් කළ පරිදී CPL තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුණේ.

අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් අර්ධ ශතකය සම්පූර්ණ කළ ඔහු එය රැස්කිරිමට වැය කළේ පන්දු 14 ක් පමණයි. එම ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6 ක් සහ හතරේ පහරවල් 3 ක් ඇතුළත්.

පන්දු යැවීමේදී ඔබේඩ් මැකෝයි කඩුලු 3 ක් බිඳ හෙලු අතර රොස්ටන් චේස් කඩුලු 2 ක් දවා ගත්තා. දැවැන්ත ප්‍රහාරයකට ලක් වූ වහබ් රියාස් පන්දුවාර 3ක් තුළ ලකුණු 61 ක් ලබාදීම විශේෂත්වයක්.

අනතුරුව ලකුණු 256 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 135 ක් පමණයි.

යම්තාක්දුරකට හෝ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් පන්දු 28 කදී ලකුණු 56 ක් රැස්කළා. ඒ, හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් 8 ක් සමගින්.

වහබ් රියාස් ලකුණු 26 ක් හා රොස්ටන් චේස් ලකුණු 11 ක් ලබා ගත්තා. නායක ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 9යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මිගෙල් ප්‍රිටෝරියස් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා. ඉම්රාන් ඛාන් කඩුලු 3 ක් දවා ගත්තා. ඇන්ඩ්‍රි රසල් සහ ක්‍රිස් ග්‍රීන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.

වේගවත් ඉනිමක් දියත් කළ ඇන්ඩ්‍රි රසල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...