දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 288ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 283ක් පමණයි.

ශිකර් ධවාන් ලකුණු 61ක් හා විරාට් කෝලි ලකුණු 65ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 98ක්.

රිෂාබ් පාන්ට් පළමු පන්දුවෙන්ම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන් දැවී යාම ඉන්දීය ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළා.

ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 223 දී බිද වැටුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, අනතුරුව දීපක් චහාර් හා ජස්ප්‍රිට් බුම්රා 8 වැනි කඩුල්ල සදහා ලකුණු 55(31) ක සබදතාවයක් ගොඩ නගමින් තරගයේ ජයග්‍රහනය පෙනෙන මානයටම කණ්ඩායම රැගෙන යාමට සමත් වුණා.

නමුත්, තරගය ජය ගැනීම සදහා ලකුණු 10ක් පමණක් අවශ්‍යව තිබූ අවස්ථාවේ දී දීපක් චහාර් දැවී යාමත් සමග දකුණු අප්‍රිකාව යළි සටනට අවතීර්ණ වුණේ ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 283කට සීමා කරමින් අවසන් පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කරමින්.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ලුන්ගි එන්ගිඩී කඩුලු 3 බැගින් දවා ගත්තා. ඩ්වේයන් ප්‍රෙටෝරියස් බිද හෙලූ කඩුලු ගණන 2ක්.

කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස් කළේ ක්වෙන්ටන් ඩී කොක් වාර්තා කළ සිය 17 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයෙන් සවිමත් වෙමින්.

ඔහු පන්දු 130කින් ලකුණු 124ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 52ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා දීපක් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා හා තරගාලියේ වීරයා ලෙස ක්වෙන්ටන් ඩී කොක් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය අද නිමාවට පත් වුණේ ටෙස්ට් තරගාලියෙන් ඉන්දියාවට තරග 1-2ක පරාජයක් හා එක්දින තරගාවලියෙන් තරග 0-3ක පරාජයක් හිමි කර දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...