දකුණු අප්‍රිකානු වේග පන්දුව හමුවේ අසරණ වූ කොදෙව්වන්ට ඉනිමක පරාජයක්

Date:

කාගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ සුවිශේෂී පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 63 ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(12) සමත් වුණා. ඒ, කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 162කට සීමා වීමත් සමගයි.

තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 82ක්. පළමු ඉනිමේ දී ලකුණු 97කට සියලු පිතිකරුවන් දැවී ගිය පසුබිමක දෙවැනි ඉනිමේ දී ද සාර්ථක පිතිහරඹයක නිරත වීමට කොදෙව්වන්ට හැකි වූයේ නැහැ. ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ රොස්ටන් චේස් ලකුණු 62ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින්.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවට හෝ ළගා වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පළමු ඉනිමේ දී න්කෘමාහ් බෝනාර්ගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීමෙන් සිදු වූ අනතුර හේතුවෙන් ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කෙරුණු කිරන් පවෙල් දෙවැනි ඉනිමේ දී නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් සමග ඉනිම ආරම්භ කළා. පවෙල් ලකුණු 14කටත්, බ්‍රැත්වෙයිට් ලකුණු 7කටත් දැවී ගියා. ජර්මයින් බ්ලැක්වුඩ් හා කෙමා රෝච්(නොදැවී) ලකුණු 13 බැගින් ලබා ගත් අතර, ෂායි හෝප් සහ ක්යල් මේයර්ස් ලකුණු 12 බැගින් ලබා ගත්තා.

සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ කාගිසෝ රබාඩා ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත් අතර, අන්රිච් නොකියා කඩුලු 3ක් බිද හෙලුවා. කේෂාව් මහරාජ් බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 2ක්.

ශාන්ත ලුසියා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන්ට ලුන්ගි එන්ගිඩීගේ සහ අන්රිච් නොකියාගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි. එහිදී එන්ගිඩී සහ නොකියා පිළිවෙලින් ලකුණු 19කට කඩුලු 5ක් හා ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 322ක් රැස් කළා. සිය 6 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 141ක් රැස් කළේ හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් සමගින්.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 4ක් දවා ගත් අතර, සිය මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි ජෙයිඩන් සීල්ස් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස ක්වෙන්ටන් ඩී කොක් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...