ත්‍යාගිගෙන් සංගාගේ රාජස්ථානයට සුපිරි ත්‍යාගයක්; පංජාබයට අනපේක්ෂිත පරාජයක්

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වීමට ගිය තරගයක් අවසන් පන්දුවාර දෙකේ දී දැක් වූ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ජයග්‍රහනයකින් නිමා කර ගැනීමට කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

රාජස්ථාන් ක්‍රීඩකයින් පන්දු රැකීමේ දී දැක් වූ දුර්වලතා හේතුවෙන් මෙම තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කරනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පල කළා.

කෙසේ වෙතත්, අවසන් පන්දු 15 තුළ දී තරගය ජය ගැනීමට හිමිව තිබූ ලකුණු 10ක පහසු ඉලක්කය පසු කර යාමට පංජාබ් පිතිකරුවන්ට නොහැකි වීම හමුවේ ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට රෝයල්ස් ක්‍රීඩකයින් සමත් වුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය වූ මෙම තරගය ඩුබායි හී දී පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ පංජාබ් නායක කේ.එල් රාහුල් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් එවින් ලුවිස් IPL වරම් දිනා ගත්තා.

එමෙන්ම පංජාබ් කණ්ඩාම වෙනුවෙන් අඩිල් රෂිඩ්, ඒඩ්න් මාක්‍රම් හා ඉෂාන් පොරෙල් ද මෙම තරගයේ දී IPL වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

  • රාජස්ථාන් 185 (20)

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස් කළා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් එවින් ලුවිස් හා යශස්වි ජයිස්වාල් ලකුණු 54ක සබදතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා.

ලුවිස් පන්දු 21කින් ලකුණු 36ක් ලබා ගත් අතර, ජයිස්වාල් පන්දු 36කින් ලකුණු 49ක් ලබා ගත්තා. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 25(17)යි.

පන්දු 17කින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මහිපාල් ලොම්රොර් ලකුණු 43ක් වාර්තා කළේ හයේ පහර 4ක් ද සමගින්.

  • අර්ශ්දීප් සිංග්ගේ කඩුලු 5

පන්දු යැවීමේ දී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ අර්ශ්දීප් සිංග් පන්දුවාර 4 තුළ ලකුණු 32කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා. ඔහුට පෙර රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව අයි.පී.එල් තරගයකදී කඩුලු 5ක් දවා ගෙන තිබූ එකම පන්දු යවන්නා වූයේ පංජාබ් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු අනිල් කුම්බ්ලේ. (5/5) (2009 වසරේ දී)

මොහොමඩ් ෂාමි ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත්තා.

  • පංජාබ් කිංග්ස් 183/4 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් පිල වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබා දිමට කේ.එල් රාහුල් හා මයාන්ක් අගාර්වල් සමත් වුණා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 120ක්. කෙසේ වෙතත්, එම සබදතාවයට රාජස්ථාන් පන්දු රකින්නන්ගෙන් ද ලැබුණේ අනගි සහයෝගයක්. ඔවුන් අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගියා.

රාහුල් ලකුණු 49(33)ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින්. අගාර්වල් ලකුණු 67(43)යි. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් එල්ල කරමින්.

නිකලස් පූරාන් පන්දු 22කින් ලකුණු 32ක් ද, ඒඩ්න් මාක්‍රම් පන්දු 20කින් නොදැවී ලකුණු 26ක් ද රැස් කළා.

  • තියුණු අවසානය

පංජාබ් කණ්ඩායමට අවසන් පන්දු 15 තුළ ලබා ගත යුතු වූයේ ලකුණු 10ක් පමණයි. අවසන් පන්දුවාර 2 තුළ ලකුණු 8ක් ද, අවසන් පන්දුවාරයේ දී ලකුණු 4ක් ද ඔවුන්ට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වුණා.

ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළේ කාර්තික් ත්‍යාගි. ඔහු එම පන්දුවාරයේ දී එක් ලකුණක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී නොතිබූ ජයක් රාජස්ථාන් පිලට ගෙන ඒමට සමත් වුණා. ඒ, අවසන් පන්දුවාරයේ දී නිකලස් පූරාන්ගේ හා දීපක් හූදාගේ කඩුලු ද දවා ගනිමින්.

ඒ අනුව පංජාබ් ඉනිම නිමා වුණේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 183ක් ලබා සිටියදීයි.

ත්‍යාගි කඩුලු 2ක් බිද හෙලූ අතර, චේතන් සාකරියා හා රාහුල් තෙවාටියා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...