තරගයේ අවසන් පන්දුවේ දී වාර්තා වූ ලුවිස්ගේ ශතකය හමුවේ පන්දුවාර 23 ක තරගයේ ජය කොදෙව්වන්ට

Date:

වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු අටකින් ජය ගැනීමට සංචාරක කොදෙව් කණ්ඩායම අද(26) සමත් වුණා. කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කොදෙව්වන් මෙරට දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙලෙස එක්දින තරගයක් ජය ගත්තේ 2005 වසරෙන් පසුව පළමු වරට වීම ද විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 23 කදී ලද ලකුණු 195 ක ඉලක්කය කොදෙව්වන් පන්දුවාර 22 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 196 ක් ලබා සපුරා ගැනීමට සමත් වුණා.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 16කටත්, ෂේයි හෝප් ලකුණු 22 කටත් දැවී ගිය නමුත්, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එවින් ලුවිස් පන්දු 61 කින් නොදැවී ලකුණු 102 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සැනසුම්දායක ජයක් උරුම කර දුන්නා. ලුවිස්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

ඔහු සිය ශතකය වාර්තා කළේ තරගය ජය ගැනීමට කොදෙව්වන්ට ලකුණු 5 ක් අවශ්‍යව තිබූ මොහොමත දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් (දර්ශන පහතින්). සිය ඉනිම අතරවාරයේ දී මුහුණ දුන් පාදයක ආබාධයක් ද සහිතවයි ලුවිස් මෙම සුපිරි ශතකය වාර්තා කළේ. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී ලකුණු 50(26) ක් ලබා ගනිමින් එවින් ලුවිස්ට අනගි සහායක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක පන්දුවාර 5 කදී ලකුණු 50 කට කඩුල්ලක් හා අසිත ප්‍රනාන්දු පන්දුවාර 5 කදී ලකුණු 39 කට කඩුල්ලක් දවා ගත්තා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව පැය පහක පමණ කාලයක් තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, රාත්‍රී 8:50 ට තරගය ආරම්භ කෙරුණේ එක් ඉනිමක් පන්දුවාර 23 කට සීමා කරමින්. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 23 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබා ගනිමින්.

පැතුම් නිස්සංක පන්දු 62 කින් ලකුණු 56 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් පන්දු 22 කින් ලකුණු 56 ක් නොදැවී ලබා ගත්තා. පැතුම්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8 ක් ද, කුසල්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9ක් ද ඇතුළත්. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 34 කට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ දී කොදෙව් පන්දු රකින්නන් අතින් උඩ පන්දු 5 ක් ගිලිහී යාම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...