ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එක්දින සංචිතයෙන් ඉවත් කළේ ඇයි? උපුල් තරංග පිළිතුරු දෙයි

Date:

ධනංජය ද සිල්වා එක්දින කණ්ඩායමට ක්‍රීඩා කරන්නේනම් ඔහු පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථාන තුන තුළ ක්‍රීඩා කළ යුතු බව සිය තේරීම් කමිටුවේ ස්ථාවරය යැයි තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

සිම්බාබ්වේ පිලට එරෙහි එක්දින සංචිතයට ධනංජය ද සිල්වා නම් නොකිරීම පිළිබද අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ඔහු හොදින් දක්ෂතා දක්වා ඇත්තේ පළමු ස්ථාන 3 තුළ ක්‍රීඩා කළ අවස්ථාවලදී බවයි. අංක 6 හෝ 7 ක්‍රීඩා කිරීම තුළ ඔහුටත්, කණ්ඩායමටත් ප්‍රයෝජනයක් අත් නොවන බව උපුල් තරංග පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් ධනංජය ද සිල්වා දැනුවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත් බව සදහන් කළ උපුල් තරංග වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩා සමාජ තරගවලදී හා ඉදිරියේ දී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දී පළමු ස්ථාන 3 තුළ පිතිකරණයේ නිරත වන ලෙසට තම කමිටුව විසින් ඔහුට දන්වා ඇති බවයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කර ඇති බව ද මෙම මාධ්‍ය හමුවේ දී තහවුරු කෙරුණා.

මේ අතර, දිනේෂ් චන්දිමාල්ට ද එක්දින තරග ක්‍රීඩා කිරීම සදහා තවදුරටත් අවස්ථාව පවතින බව සභාපතිවරයා අවධාරණය කර සිටියා.

චන්දිමාල් සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ අංක 4 හෝ අංක 5 ස්ථානවල බවත්, එම ස්ථානවල මේ වන විට සධීර සමරවික්‍රම හා චරිත් අසලංක හොදින් දක්ෂතා දක්වන බැවින් මෙම අවස්ථාවේ දී චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබා ගත නොහැකි බවත් උපුල් තරංග පෙන්වා දුන්නා.

සිය තේරීම් කමිටුව විසින් තරුණ ක්‍රීඩකයින් සමග පමණක් ඉදිරියට යාමට බලාපොරොත්තු ‌නොවන බවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද අවශ්‍ය අවස්ථාවලදී තේරීම් සදහා සලකා බලන බවත්, තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, දේශීය තරග සදහා ලබා දෙන තණතීරුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රශ්න කෙරුණා.

ඊට පිළිතුරු දෙමින් උපුල් තරංග සදහන් කළේ ලබන අදියරේ සිට දේශීය තරගවලදී තණතීරු අධීක්ෂණය කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තණතීරු භාරකරුවන් පස් දෙනෙකු යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ලබන අදියරේ සිට ඉතා හොද තණතීරු දේශීය තරග සදහා ලැබෙනු ඇති බවට අපේක්ෂා ‌කරන බව ඔහු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...