මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoff) සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමට බවට පත් වීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද (10) සමත් වුණා.
ඒ, තරගාවලියේ 57 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 62ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
පූනේ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 144ක් රැස් කළා.
ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 63(49)යි. ඩේවිඩ් මිලර් ලකුණු 26ක් හා රාහුල් තෙවාටියා ලකුණු 22ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා. දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්රතිවාදීන් ලකුණු 34ක් රැස් කළ නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 13.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82ක් පමණයි.
දීපක් හූදා ලකුණු 27ක්, අවේශ් ඛාන් ලකුණු 12ක් හා ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 11ක් රැස් කළා.
පන්දු යැවීමේ රෂීඩ් ඛාන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.

