කෝලි – සෝල්ට් ප්‍රහාරය RCB පිලට සුපිරි ජයක් ගෙනෙයි

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ආරම්භ වීමට පෙර සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන් ප්‍රමුඛ ඉන්දීය කලා තරු රැසක් වර්ණවත් කළ අලංකාර සමාරම්භක උත්සවයක් ද සංවිධාන කර තිබුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් නායක රාජත් පටිදර් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 174 ක් ලබා ගනිමින්.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 4 කට දැවී යාමෙන් පසු දෙවැනි කඩුල්ල සදහා සුනිල් නරායන් හා නායක අජින්කෙයා රහානේ පන්දු 55 කින් ලකුණු වේගවත් ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

නරායන් පන්දු 26 කින් ලකුණු 44 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්.

රහානේ පන්දු 31 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 6 කින් වර්ණවත් වුණා.

පන්දුවාර 10 ක් අවසන් වන විට කොල්කටා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 107 ක් ලබා ප්‍රබල ස්ථානයක පසූ නමුත්, අනතුරුව හොදින් සටනට අවතීර්ණ වූ බැංගලූරු පන්දු යවන්නන් අවසන් පන්දුවාර 10 තුළ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 67 ක් පමණයි.

අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේදී කෘනාල් පාන්ඩ්යා ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 22 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායම පන්දුවාර 16.2 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

RCB කණ්ඩායමට අනගි ආරම්භයක් ලබා දුන් පිල් සෝල්ට් හා විරාත් කෝලි පළමු කඩුල්ලට පන්දු 51 ක් තුළ ලකුණු 95 ක් රැස් කළා. ඔවුන් පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට කිසිදු කඩුල්ලක් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.

පළමු කඩුල්ල ලෙස සෝල්ට් ලකුණු 56 කට දැවී ගියා. බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් සිය මංගල අයි.පී.එල් තරගය ක්‍රීඩා කළ ඔහුගේ ඉනිමට පන්දු 31 ක් තුළ හයේ පහර 2ක් හා හතරේ පහර 9 ක් ඇතුළත් වුණා.

සිය 400 වැනි විස්සයි 20 තරගය ක්‍රීඩා කළ කෝලි පන්දු 36 කින් නොදැවී ලකුණු 59 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. නායක රාජත් පටිදර් ලකුණු 34 යි.

පන්දු යැවීමේදී විභව් අරෝරා, වරුන් චක්‍රවර්තී හා සුනිල් නරායන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...