රුටුරාජ් ගයික්වඩ්ගේ හා ඩෙවෝන් කොන්වේගේ වේගවත් ප්‍රහාරයත්, මොයීන් අලීගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.
චෙන්නායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 218 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ලක්නව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205 ක් පමණයි.
ක්යල් මේයර්ස් පන්දු 22 කින් ලකුණු 53 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 18 කින් ලකුණු 32 ක් හා මර්කස් ස්ටොයිනිස් ලකුණු 21 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මොයීන් අලී කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 26 ක් පමණක් ලබා දෙමින්.
කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ලකුණු 217 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.
ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දුන් රුටුරාජ් ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ පන්දුවාර 9.1 ක් තුළ ලකුණු 110 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා.
ගයික්වඩ් පන්දු 31 කින් ලකුණු 57 ක් රැස් කළ අතර, කොන්වේ ලකුණු 47 යි. ශිවම් ඩූබේ හා අම්බටි රයිදු ලකුණු 27 බැගින් රැස් කළා. මොයීන් අලී ලකුණු 19 යි. මහේන්දු සිං දෝනි පන්දු 3කින් හයේ පහර 2ක් සමගින් ලකුණු 12 ක් ලබා සිටියදී දැවී ගියා.
පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 49 කට කඩුලු 3 ක් හා රවී බිෂ්නෝයි ලකුණු 28 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

