කඩුලු පහෙන් පසු ධනංජය හා කමිදු වාර්තා කළ සුපිරි ශතක හමුවේ තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Date:

ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් වාර්තා කළ සටන්කාමී ශතක හමුවේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(22) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියා. ඒ, සිල්හෙට් හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 280 ට පිළිතුරු වශයෙන්.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලෙස සාකීර් හසාන් ලකුණු 9කටත්, අනතුරුව නායක නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 5කටත් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. මොමිනුල් හක් ලකුණු 5කට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 9 ක් ලබා සිටින අතර, තයිජුල් ඉස්ලාම් මෙතෙක් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු පහ ලකුණු 57 ක් තුළ බිද වැටුණු අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළා.

කෙසේ වෙතත්, 6 වැනි කඩුල්ල සදහා ලකුණු 202 (245) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට නායක ධනංජය ද සිල්වා සමග පිටියේ එක් වූ කමිදු මෙන්ඩිස් සමත් වුණා. ඒ, මෙන්ඩිස් පළමු පන්දුවෙන්ම ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයෙකු අතින් ගිලිහී ගිය පසුබිමකයි.

කමිදු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් රැස් කළා. ඒ‍ හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් සමගින්. ධනංජය ලබා ගත් ලකුණු සංඛ්‍යාව ද 102 ක්. හයේ පහරක් හා හතරේ පහර 12 ක් ධනංජයගේ 11 වැනි ටෙස්ට් ශතකය වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී කලෙඩ් අහ්මඩ් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ නහිද් රානා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මේ වන විට බංග්ලාදේශය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 248 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...