එංගලන්තය පරදා දකුණු අප්‍රිකාව සිය අපරාජිත බව තවදුරටත් රැක ගනියි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 5 වැනි තරගයෙන් එංගලන්තය පරදා ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(21) සමත් වුණා.

ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු හයක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

හැරී බෘෘක් පන්දු 37 කින් ලකුණු 53 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 33 ක් ලබා ගත්තේ පන්දු 17 කින්.

ඉනිමේ 4 වැනි කඩුල්ල පන්දුවාර 10.2 ක් තුළ ලකුණු 61 කට දැවී යාමෙන් පසුව බෘෘක් හා ලිවින්ග්ස්ටන් එංගලන්තයට ජයග්‍රහනයේ බලාපොරොත්තුවක් ගෙන ආවේ 5 වැනි කඩුල්ලට ලකුණු 78 (42) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

18 වැනි පන්දුවාරය ආරම්භ කරන විට එංගලන්තයට තරගය ජය ගැනීමට අවශ්‍යව තිබුණේ පන්දු 18 කින් ලකුණු 25 ක් පමණයි. කෙසේ වෙතත්, 18 වැනි පන්දුවාරයේ දී ලිවින්ග්ස්ටන් දැවී යාමත් සමග තරගයේ පාලනය යළිත් කෙමෙන් කෙමෙන් දකුණු අප්‍රිකාවට නතු වුණා.

අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනයට ලකුණු 14 ක් අවශ්‍ය වූ නමුත්, එම පන්දුවාරයේ පළමු පන්දුවටම හැරී බෘෘක් දැවී ගියේ එංගලන්තයේ බලාපොරොත්තු සුන් කරමින්.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 32 කට කඩුලු 2 ක් හා කේෂාව් මහරාජ් ලකුණු 25 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 65 ක් ලබා ගත්තේ පන්දු 38 කින්. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

ඩේවිඩ් මිලර් පන්දු 28 කින් ලකුණු 43 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත්තා.

මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාව මේ වන විට සුපිරි 8 වටයේ දී ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් දෙවන කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...