ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව පළමු වරට 20යි 20 තරගාවලියක් ජය ගනියි

Date:

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමු වරට 20යි 20 තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමගයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ කඩුලු 7කින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් පමණක් ලබා ගනිමින්.

ඔවුන් පළමු පන්දුවාර 10 තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 39ක් පමණක් රැස් කළ අතර, එය වාර්තා අතරට එක් වුණේ ඉන්දීය කණ්ඩායමක් ජාත්‍යන්තර 20යි 20 තරගයක පළමු පන්දුවාර 10 තුළ රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර 20යි 20 තරගයක වාර්තා කළ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව ලෙස ද ඔවුන් අද ලබා ගත් ලකුණු 81 ඉතිහාස ගත වුණා.

අද තරගයේ දී කුල්දීප් යාදෙව් නොදැවී ලකුණු 23ක් රැස් කළ අතර, බුවනේෂ්වර් කුමාර් ලකුණු 16කට දැවී ගියා.

රුටුරාජ් ගයික්වඩ් ලකුණු 14ක් ලබා ගත් නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් 20යි 20 ජාත්‍යන්තර තරගයක වාර්තා කළ සිය හොදම පන්දු යැවීම සනිටුහන් කළා.

සිය උපන් දිනයේ දී පන්දු යවන්නෙකු ජාත්‍යන්තර 20යි 20 තරගයක වාර්තා කළ හොදම පන්දු යැවීම ද එය වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී දසුන් ශානක ද කඩුලු 2ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර හා රමේෂ් මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මිනෝද් භානුක ලකුණු 18ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12ක් රැස් කළා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රාහුල් චහාර් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංග සම්මානයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා 20යි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙය වන අතර, ඕනෑම තරග රටාවකින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව තරගාවලියක් ජය ගනු ලැබුවේ වසර 13කට පසුවයි.

එමෙන්ම 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ද මෙයයි.

මෙම 20යි 20 තරගාවලි පරාජයට පෙර ඉන්දියාව අඛණ්ඩව 20යි 20 තරගාවලි 8ක් ජය ගැනීමට සමත්ව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...