ආසියානු කුසලානය රටවල් දෙකක පැවැත්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව විරෝධය පල කරයි

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ දී හා තවත් රටකදී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අකමැත්ත පලව තිබෙනවා.

අගහරුවාදා දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමක් ඩුබායි හී දී පවත්වා ඇති අතර, එහිදී පාකිස්තානය විසින් අදාළ යෝජනාව යළි ඉදිරිපත් කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ, ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මතු කර තිබූ ගැටලු සහගත තත්ත්වයන්ට ද පිළිතුරු ලබා දෙමින්.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් සිය කණ්ඩායම පාකිස්තානයට යැවීමට නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට පෙර සදහන් කළා. ඒ අනුවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය පාකිස්තානයේ දී පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී එලෙස පාකිස්තානය හා වෙනත් රටක් අතර සංචාරය කිරීමේ දී ඇති වන අභියෝග පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රශ්න මතු කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දී, එනම් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට මාසයකට පමණ පෙර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින අධික උණුසුම් කාළගුණය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අදාළ යෝජිත ක්‍රියාමාර්ගයට බාධාවක් ලෙස පෙන්වා දී තිබෙනවා.

“අපි දෙමුහුන් (hybrid) ක්‍රමවේදයට විරුද්ධ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය වෙත ලිඛිතව දන්වා තියෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කළා.

“නමුත් ඉන් ඔබ්බට අවසන් තීරණයකට පැමිණ නැහැ. වසරේ එම කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාළගුණය ඉතා උණුසුම්.”

කෙසේ වෙතත්, පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හා බංග්ලාදේශයට කිසිදු ගැටලුවක් නොමැති බවට ද එම ක්‍රිකට් ආයතන දෙක විසින් ඊ මේල් පණිඩිව මගින් දන්වා ඇතැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති අතර, 2018 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණා.

ඒ අනුව අදාළ තරගාවලි පැවැති සැප්තැම්බර් මාසයේ දී ම මෙවර තරගාවලියේ කොටසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නොහැකි වන්නේ මන්දැයි පාකිස්තානය ප්‍රශ්න කරනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්ව අයිතියට යටත්ව ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සදහා එකගතාවකට එළඹුණහොත් තරගාවලිය මෙරට දී පැවැත්වීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

කෙසේ වෙතත්, පාකිස්තානය පෙන්වා දෙන්නේ තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළව තමන් ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේනම් පාකිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...