අෆ්රිඩිගේ සුපිරි ප්‍රහාරය සුපිරි පන්දුවාරයේ දී අපතේ යයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගය ඊයේ (21) නිමාව දුටුවේ සුපිරි පන්දුවාරයේ දී පෙෂාවර් සල්මී කණ්ඩායමට ජය හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමයි.

ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායම, ශහීන් ශාහ් අෆ්රිඩිගේ ප්‍රහාරාත්මක ඉනිම සමගින් තරගයේ ලකුණු ප්‍රමාණය සම කිරීමට සමත්වුණා.

අනතුරුවයි ජයග්‍රාහකයා තීරණය කිරීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණේ.

ලාහෝර් නුවර ගඩාෆී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පෙෂාවර් සල්මි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි පෙෂාවර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 ක් බිඳ වැටී රැස්කළ ලකුණු සංඛ්‍යාව 158 ක්.

ශොයිබ් මලික් ලකුණු 32(28) ක් රැස්කළා. හස්රතුල්ලා සසායි ලකුණු 20(16) යි. හේදර් අලී ලකුණු 25(22) ක් ද කලීඩ් උස්මාන් නොදැවී ලකුණු 19(11) ක් ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ෆවඩ් අහ්මඩ් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ශහීන් අෆ්රිඩී, හැරිස් රවුෆ්, මොහොමඩ් හෆීස් සහ ඩේවිඩ් වීසා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමට ද නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 158 ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී තරගය ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 24 ක් අවශ්‍යව තිබූ අතර, එම පන්දුවාරයේ දී (වයිඩ් පන්දුවක් ද සමගින්) ලකුණු 23ක් වාර්තා කිරීමට ශහීන් අෆ්රිඩී සමත් වුණේ හයේ පහරවල් 3 ක් ද සමගින්.

මොහොමඩ් හෆීස් ලකුණු 49(44) ක් රැස්කළා. කම්රාන් ගුලාම් ලකුණු 25(18) යි. පිල් සෝල්ට් හට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 14(10) ක් පමණයි.

ප්‍රහාරාත්මක ඉනිමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩී පන්දු 20 කින් හයේ පහරවල් 4 ක් සහ එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කළා.

පන්දු යැවීමේදී හර්ශාද් ඉක්බාල් සහ වහබ් රියාස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

සුපිරි පන්දුවාරයේ දී ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් ෆකාර් සමාන් සහ හැරී බෲක් පන්දුවට පහර දුන්නා. නමුත් වහබ් රියාස්ගේ අනර්ඝ පන්දු යැවීම හමුවේ ඔවුන්ට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 5 ක් පමණයි.

ලකුණු 6 ක පහසු ඉලක්කයක් සුපිරි පන්දුවාරයේදී හඹා ගිය පෙෂාවර් සල්මී කණ්ඩායම ශහීන් අෆ්රිඩී යොමු කළ පළමු පන්දු 2 ටම හතරේ පහරවල් 2 ක් එල්ල කරමින් ජයග්‍රහණය වාර්තා කළා. එම හතරේ පහරවල් 2 ශොයිබ් මලික් විසිනුයි එල්ල කළේ.

තරගයේ වීරයා සම්මානය වහබ් රියාස් විසින් දිනා ගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...