මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ජොස් බට්ලර් වාර්තා කළ තෙවැනි ශතකය හේතුවෙන් තරගාවලියේ 34 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(22) සමත් වුණා.
එම ජයග්‍රහනයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද රෝයල්ස් කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්. ඔවුන් මේ වන විට තරග 7කට ක්‍රීඩා කර ඉන් තරග 5 ක් ජය ගනිමින් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.
අද මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.
ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 222ක් ලෙස සටහන් වුණා. යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් 20යි 20 පිටියේ සිය 5 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 65කින් ලකුණු 116ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 9 බැගින් ඇතුළත්.
දෙව්දත් පඩික්කල් ලකුණු 54(35)ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 155ක්. එය අයි.පී.එල් ඉතිහාසයේ දී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.
නායක සංජු සැම්සන් නොදැවී ලකුණු 46(19)යි.
පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 207ක් පමණයි.
නායක රිෂාබ් පාන්ට් ලකුණු 44(24)ක් රැස් කළ අතර, ප්‍රිත්වි ෂෝ හා ලලිත් යාදව් ලකුණු 37 බැගින් ලබා ගත්තා.
තරගයේ අවසන් පන්දුවාර දෙක තුළ තරගය ජය ගැනීම සදහා දිල්ලි කණ්ඩායමට ලකුණු 36ක් අවශ්‍ය වුණා. කෙසේ වෙතත්, 19 වැනි පන්දුවාරය යොමු කළ ප්‍රසිද් ක්‍රිෂ්නා එම පන්දුවාරයේ දී එක් කඩුල්ලක් දවා ගනිමින් නිලකුණු පන්දුවාරයක් සටහන් කිරීමට සමත් වීම කැපී පෙනුණා.
ඔබෙඩ් මැකෝයි යොමු කළ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා දිල්ලි පිලට ලකුණු 36ක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ පළමු පන්දු 3ටම දැවැන්ත හයේ පහර 3ක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු යළි දිල්ලි කණ්ඩායමට ගෙන ඒමට රොව්මන් පවෙල් සමත් වුණා.
අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුව තණතීරුවේ පතිත නොවී පිතිකරුවාගේ ඉන ආසන්නයටම පැමිණි අතර, එම පන්දුව නිපන්දුවක් විය යුතු බවයි දිල්ලි ක්‍රීඩකයින්ගේ මතය වුණේ. කෙසේ වෙතත්, එය නිපන්දුවක් නොවන බව විනිසුරුගේ තීරණය වුණා.
එම අවස්ථාවේ දී දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් ඇතුළු ක්‍රීඩකයින්ගේ හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි විරෝධයක් විනිසුරුවන්ට එල්ල වූ අතර, පාන්ට් විසින් පිතිකරුවන් දෙදෙනා යළි ක්‍රීඩාගාරයට කැදවීමට උත්සාහ ගන්නා ආකාරයක් ද දක්නට ලැබුණා. (දර්ශන පහතින්)
කෙසේ වෙතත්, අවසානයේ සියලු පාර්ශවවල එකගතාවය අනුව තරගය අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කෙරුණා.
එම සිදුවීමෙන් පසුව යොමු කෙරුණු අවසන් පන්දු තුනේ දී රොව්මන් පවෙල්ට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.
අවසන් පන්දුවේ දී ඔහු දැවී යන විට පන්දු 15කින් පවෙල් රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 36ක්. හයේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වී තිබුණා.
පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා ලකුණු 22කට කඩුලු 3ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 32කට කඩුලු 2ක් ද දවා ගත්තා.
Crazy 🤯🤯🤯 pic.twitter.com/JCcWZd9Tg6
— Sehwag (@Sehwag54587220) April 22, 2022
https://twitter.com/prabhas_mania17/status/1517568146420293632
https://twitter.com/VinayShu1998/status/1517568521601175552

