අවසන් පන්දුවාරයේ දෝනි පෑ විස්කම් හමුවේ මුම්බායි පිට පිට 7 වැනි තරගයත් පරදියි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සුපිරි පිතිකරු මහේන්ද්‍ර සිං දෝනි අවසන් පන්දුවාරයේ දී ප්‍රදර්ශනය කළ සිය සුපුරුදු සටන්කාමී පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ 7 වැනි තරගයෙන් ද පරාජයට පත් වීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අද(21) සිදු වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයෙන් චෙන්නායි පිල හමුවේ මුම්බායි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී පරාජයට පත් වූයේ කඩුලු 3කින්.

තරගාවලියේ 33 වැනි තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.

පළමු පන්දුවාරයේ දී ම ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිට් ෂර්මා හා ඉෂාන් කිෂන් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට මුකේෂ් චෞද්‍රි සමත් වුණා. ඩිවෝල්ඩ් බ්‍රේවිස් ද ලකුණු 4කට දැවී ගියේ ඔහුගේ පන්දුවක් හමුවේයි.

සූර්යකුමාර් යාදව් පන්දු 21කින් ලකුණු 32ක් රැස් කළා. හ්රිතික් ශොකීන් ලකුණු 25(25)යි. තිලක් වර්මා නොදැවී ලකුණු 51(43) ක් ලබා ගනිමින් මුම්බායි ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ජයිදේව් උනඩ්කට් නොදැවී ලකුණු 19(9)ක් හා කයිරන් පොලාඩ් ලකුණු 14(9)ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී චෙන්නායි පන්දු රකින්නන් අතින් කඩුලු දවා ගැනීමට තිබූ පහසු අවස්ථා රැසක් ගිලිහී යාම කැපී පෙනුණා. එහිදී එම්.එස් දෝනි අතින් ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ගිලිහී යාමත්, රවීන්ද්‍ර ජඩේජා අතින් උඩ පන්දු දෙකක් ගිලිහී යාමත් විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මුකේෂ් චෞද්‍රි පන්දුවාර 3ක් තුළ ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා. ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 36කට දවා ගත් කඩුලු ගණන 2ක්. මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගත්තා. මිචෙල් සැන්ට්නර් ද පන්දුවාර 3ක් යොමු කරමින් ලකුණු 16කට කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී කඩුලු 7ක් දැවී ලකුණු 156ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම රුටුරාජ් ගයික්වඩ් ලකුණු නොලබා දැවී ගියේ ඩැනියල් සෑම්ස්ගේ පන්දුවක් හමුවේයි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි මිචෙල් සැන්ට්නර් ලකුණු 11කට දැවී ගියා.

රොබින් උතාපා ලකුණූ 30(25)ක් ද, අම්බටි රයිදු ලකුණු 40(35)ක් ද වාර්තා කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා. උතාපාගේ ඉනිමට හයේ පහර 2ක් ද, රයිදුගේ ඉනිමට හයේ පහර 3ක් ද ඇතුළත්.

ශිවම් දූබේ ලකුණු 13කට දැවී ගිය අතර, නායක රවීන්ද්‍ර ජඩේජා රැස් කළේ ලකුණු 3ක් පමණයි. ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 22(14)ක් රැස් කරමින් චෙන්නායි පිල ජයග්‍රහනය ආසන්නයට රැගෙන යාමට දායකත්වය දක්වනු ලැබුවා.

අවසන් පන්දු 4 තුළ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 16ක් ලබා ගැනීමට චෙන්නායි පිලට අවශ්‍ය වූ අතර, එහිදී පන්දුවට පහර දුන් 40 හැවිරිදි දෝනි පිළිවෙලින් ලකුණු 6, 4, 2 හා 4ක් වාර්තා කරමින් තරගයේ ජය අවසන් පන්දුවේ දී සිය කණ්ඩායමට හිමි කර දුන්නා. (දර්ශන පහතින්)

දෝනි පන්දු 13කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 28ක්. හයේ පහරක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ඩැනියල් සෑම්ස් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත් අතර, ජයිදේව් උනඩ්කට් කඩුලු 2ක් හා Riley Meredith එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...