පළමු වරට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධාන කරන වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(16) නිවේදනය කෙරුණා.
මෙම තරගාවලිය ලබන ජනවාරි 14 වැනිදා සිට 29 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16 ක් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
දින 15 ක් තුළ දී තරගාවලිය යටතේ තරග 41 ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.
සියලු කණ්ඩායම් කාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේ තරග සදහා ක්‍රීඩා කරන බව ද අයි.සී.සී නිවේදනය කළා.
ඒ අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් තරග කරන අතර, B කාණ්ඩයෙන් එංගලන්තය, පාකිස්තානය, සිම්බාබ්වේ හා රුවන්ඩාව යන රටවල් තරග කිරීමට නියමිතයි.
C කාණ්ඩයට ඇතුළත්ව ඇත්තේ අයර්ලන්තය, ඉන්දුනීසියාව, නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ස්කොට්ලන්තය D කාණ්ඩයට ඇතුළත්.
මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි 14 වැනිදා අමෙරිකාවට එරෙහිව පැවැත්වෙන අතර, දෙවැනි තරගය පැවැත්වෙන්නේ ජනවාරි 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිවයි.
ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ජනවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

