අර්ධ ශතක 6 හමුවේ ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක ; බංග්ලාදේශය ලකුණු 476 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර චිතගොංහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (31) නිමා වුණේ දෙවැනි දිනයේ ද වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියා.

මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 21 කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. නොදැවී පන්දුවට පහර දෙන සාකීර් හසාන් ලකුණු 28 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, තයිජුල් ඉස්ලාම් මෙතෙක් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ.

මේ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 476 ක්.

අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 531 ක්.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අර්ධ ශතක හයක් වාර්තා වූ අතර, කිසිදු පිතිකරුවෙකු විසින් කිසිදු ශතකයක් වාර්තා නොකිරීම කැපී පෙනුණා.

එය නව ලෝක වාර්තාවක් බවට පත් වූයේ කිසිදු ශතකයක් වාර්තා නොවී ටෙස්ට් ඉතිහාසයේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර ඉන්දියාව 1976/77 තරග වාරයේ දී නවසීලන්තයට එරෙහිව කිසිදු ශතකයක් වාර්තා නොකර ලකුණු 524/9 ක් ලබා එම ලෝක වාර්තාව පිහිටුවා තිබුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නිශාන් මදුෂංක ලකුණු 57 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක් වාර්තා කරමින් මුල්පෙල ශක්තිමත් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 59 යි. යළිත් සාර්ථක පිතිහරඹයක නිරත වූ නායක ධනංජය ද සිල්වා ලකුණු 70 ක් රැස් කළ අතර, කමිදු මෙන්ඩිස් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 92 ක්.

කමිදු මේ වන විට ඉනිම් 4ක් සිය ටෙස්ට් දිවියේ දී ක්‍රීඩා කර ඇති අතර, එම සෑම ඉනිමකදීම ඔහු ලකුණු 50 ඉක්මවා රැස් කර තිබෙනවා. එවැනි දක්ෂතාවයක් දැක් වූ ලොව තෙවැනි ක්‍රීඩකයා වන්නේ කමිදු මෙන්ඩිස්.

මේ වන විට කමිදු සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 419 ක්. එය ද ලෝක වාර්තාවක් සම කිරීමක් වීම කැපී පෙනෙනවා. මීට පෙර පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් 1976 වසරේ දී ද සිය පළමු ටෙස්ට් ඉනිම් 4 තුළ දී ලකුණු 419 ක් වාර්තා කර තිබුණා.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් කඩුලු 3 ක් දවා ගත් අතර, හසාන් මහ්මුද් කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...