ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (25).
දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අතර, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 492 ක්.
අයර්ලන්ත ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වුණා. ඊයේ දිනයේ දී පාදයක ආබාධයක් හේතුවෙන් ලකුණු 74 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ පෝල් ස්ටර්ලින්ග් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් වාර්තා කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් සමගින්.
කර්ටිස් කැම්පර් ලකුණු 111 යි. කැම්පර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15 ක් ඇතුළත් වුණා.
ඊට අමතරව නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 95 ක් රැස් කළ අතර, ලෝකන් ටකර් ලකුණු 80 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 174 ක් ලබා දෙමින්.

