අපරාජිත පාකිස්තානය පරදා පෙරළිකාර ජයකින් ඔස්ට්‍රේලියාව අවසන් තරගයට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී නවසීලන්තයේ ප්‍රතිවාදීන් බවට පත් වීමට ඔස්ට්‍රේලියාව අද(11) සමත් වුණා.

ඒ, මැතිව් වේඩ්ගේ හා මාර්කස් ස්ටොයිනිස්ගේ සුපිරි සටන්කාමී පිතිහරඹය හේතුවෙන් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

  • පාකිස්තානය 176/4 (20)

ඒ අනුව පිටියට පිවිසි මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා බබාර් අසාම් හා මොහොමඩ් රිස්වාන් අතර ගොඩ නැගුණු සබදතාවය පන්දු 60කින් ලකුණු 71ක්.

නායක බබාර් අසාම් ලකුණු 39(34)කට දැවී ගියා.

අනතුරුව රිස්වාන් හා ෆකාර් සමාන් දෙවැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කළේ පන්දු 46ක් වැය කරමින්.

මෙම තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ රිස්වාන් පන්දු 52කින් ලකුණු 67ක් වාර්තා කළා.

හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහුගේ දැවී යාමෙන් අනතුරුව අසිෆ් අලී තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ෂොයිබ් මලික් රැස් කළේ එක් ලකුණක් පමණයි.

ඉනිමේ 19 වැනි පන්දුවාරය යොමු කළ පැට් කමින්ස් ලකුණු 3ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් අසිෆ් අලීගේ කඩුල්ල ද දවා ගනිමින් පාකිස්තානයට ප්‍රබල අභියෝගයක් ඉනිම අවසානයේ දී එල්ල කළා.

කෙසේ වෙතත්, පාකිස්තානයට අවශ්‍යව තිබූ වේගවත් අවසානය අවසන් පන්දුවාරයේ දී ලබා දුන් ෆකාර් සමාන් එම පන්දුවාරයේ දී මිචෙල් ස්ටක්ට එරෙහිව දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වුණා. එම පන්දුවාරයේ දී පාකිස්තානය ලකුණු 15ක් ලබා ගත්තා.

ෆකාර් සමාන් පන්දු 32කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 55ක්. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 2ක් ද, පැට් කමින්ස් හා ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

  • ඔස්ට්‍රේලියාව 177/5 (19)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

පළමු පන්දුවාරයේ දී ම ඔස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච්ගේ කඩුල්ල දවා ගත්තේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදීමයි.

මිචෙල් මාෂ් ලකුණු 28ක් රැස් කළ අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 5කටත්, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 7කටත් දැවී ගියා.

ඩේවිඩ් වෝනර් පන්දු 30කින් ලකුණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

වෝනර් දැවී ගියේ ශඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

කෙසේ වෙතත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ පන්දුව පිත්තේ ගැටීමක් සිදු නොවන බවයි. කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී ඩේවිඩ් වෝනර් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Review) යොදා ගැනීමට ද පෙළඹුණේ නැහැ.

තරගයේ ජය පාකිස්තානය වෙත නතු වෙමින් පැවැති අවස්ථාවක මර්කස් ස්ටොයිනිස් හා මැතිව් වේඩ් අතර 6 වැනි කඩුල්ල සදහා පන්දු 41කින් නොබිදුණු ලකුණු 81ක සබදතාවයක් ගොඩ නැගුණේ 2010 වසරෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගය වෙත රැගෙන යමින්.

ස්ටොයිනිස් පන්දු 31කින් නොදැවී ලකුණු 40ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2කින් හා හතරේ පහර 2ක් සමගින්.

තරගයේ වීරයා වූ මැතිව් වේඩ් නොදැවී වේගවත් ලකුණු 41ක් රැස් කළේ පන්දු 17ක් පමණක් වැය කරමින්. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සිය ඉනිමට එක් කරමින්.

අවසන් පන්දුවාර 5 තුළ දී ඔස්ට්‍රේලියාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 62ක් ලබා ගත යුතුව තිබූ අතර, අවසන් පන්දුවාර 2 තුළ දී ඔවුන්ට ලබා ගත යුතු වූ ලකුණු ප්‍රමාණය 22ක්.

එවැනි පසුබිමක ශහීන් ශාහ් අෆ්රිඩි යොමු කළ 19 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ දී මැතිව් වේඩ් ලබා දුන් උඩ පන්දුවක් නිසි අයුරින් රැක ගැනීමට හසන් අලීට නොහැකි වීම තරගයේ තීරණයට දැඩි ලෙස බලපෑවා.

එම උඩ පන්දුව ගිලිහී යාමෙන් පසුව යොමු කෙරුණු පන්දු 3 තුළ දී මැතිව් වේඩ් පිට පිට හයේ පහර 3ක් එල්ල කරමින් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තේ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් පූර්ව තරගයකදී පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්.

ඒ අනුව 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

https://twitter.com/niMra___writes/status/1458841079495598091

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...