ඉන්දු-පාකිස්තාන තරගයට විශේෂ සැලකිලි දීම ගැන ශ්‍රී ලංකා-බංග්ලාදේශ පුහුණුකරුවන්ගේ අප්‍රසාදය

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය සදහා පමණක් අතිරේක දිනයක් ලබා දීම සම්බන්ධයෙන් බංග්ලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් සිය අප්‍රසාදය පල කර තිබෙනවා.

මෙය සුදුසු ක්‍රියාවක් නොවන බවත්, සිය කණ්ඩායම ද අතිරේක දිනයක් ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන බවත්, බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සදහන් කළා.

ශ්‍රී ලංකාව සමග හෙට(9) පැවැත්වීමට නියමිත තරගය පිළිබද දැනුවත් කිරීම සදහා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හතුරුසිංහ මහතා ඒ බව කියා සිටියා.

පවතින වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සලකා ඉන්දියාව හා පාකිස්තානය අතර එළඹෙන 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත සුපිරි 4 වටයේ තරගය සදහා අතිරේක දිනයක් ලෙස සැප්තැම්බර් 11 වැනිදා නම් කර ඇති බව තරගාවලියේ සංවිධායකයින් අද නිවේදනය කළා.

ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය එළඹෙන 10 වැනිදා සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත්, තරගය එදින නතර කරන අවස්ථාවේ සිට පසුදින යළි ආරම්භ කරනු ඇති.

එහිදී සැප්තැම්බර් 10 වැනිදා තරගය නැරඹීමට මිලදී ගත් ප්‍රවේශ පත්‍ර පසුදිනට ද වලංගු වනවා.

කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් මහා තරගය හැරුණු විට වෙනත් කිසිදු තරගයක් සදහා එලෙස අතිරේක දිනයක් ප්‍රකාශයට පත් කර නොතිබීම විශේෂත්වයක්.

“මම මේ වගේ දෙයක් වෙන තරඟාවලියක දැකලා නැහැ, තරඟාවලිය මැදදී මේ වගේ නීති වෙනස් කරනවා.”

යනුවෙන් චන්දික හතුරුසිංහ මහතා සදහන් කළා.

“සහභාගී වන සෑම රටකින්ම නියෝජනයක් තියෙන තාක්ෂණික කමිටුවක් තියෙන බව මට විශ්වාසයි. ඔවුන් එය තීරණය කරන්න ඇත්තේ වෙනත් හේතුවක් නිසා විය යුතුයි. ඔව්, එය සුදුසු ක්‍රියාවක් නෙවෙයි. අපිත් කැමතියි අමතර දවසක් ගන්න. ඒ හැර, ඔවුන් තීරණයක් ගෙන ඇති නිසා මට අදහස් දක්වන්න වැඩි දෙයක් නැහැ.”

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටියේ මෙම තීරණය පිළිබද දැන ගත් පසු තමා පුදුමයට පත් වූ බවයි.

“එය පළමු වරට ඇහුවම මට ටිකක් පුදුම හිතුණා. නමුත් අපි තරගාවලිය සංවිධාන කරන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ගැන කරන්න පුලුවන් ලොකු දෙයක් නැහැ. අතිරේක දිනය කාටහරි ප්‍රසාද ලකුණු ලබා දුන්නොත් හා අපිට හරි කාටහරි එය බලපෑමක් වුණොත් තමයි එය ප්‍රශ්නයක් වෙන්නේ”

යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...