LPL 2024 : මෙන්ඩිස්-රුසෝව් සුපිරි ප්‍රහාරය හමුවේ දකුණ පරදා උතුර සිව්වැනි වරටත් ශූරතාවය දිනයි

Date:

කුසල් මෙන්ඩිස් හා රයිලී රුසෝව් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 185 (93) ක නොබිදුණු අනර්ඝ සම්බන්ධතාවය හමුවේ සිව්වැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. 2020 හා 2021 අදියරවලදී ද ජැෆ්නා කණ්ඩායම LPL ශූරතාවය දිනා ගත්තේ ගාලු කණ්ඩායම පරාජයට පත් කරමිනුයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් පිල පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව මාර්වල්ස් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.

පවර්ප්ලේ හෙවත් පළමු පන්දුවාර හය අවසන් වන විට ඔවුන් ලබා සිටියේ කඩුලු 2 ක් දැවී ලකුණු 21 ක් පමණයි. කෙසේ වෙතත්, අනතුරුව සටන්කාමී හා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ටිම් සයිෆර්ට් හා භානුක රාජපක්ෂ සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

සයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. භානුක පන්දු 34 ක් පමණක් වැය කරමින් ලකුණු 82 ක් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 8ක් සමගින්.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 35 ක් ලබා දෙමින්. ජේසන් බෙහ්රෙන්‍ඩොර්ෆ් ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් පිල පන්දුවාර 15.4 ක් පමණක් අවසානයේ දී කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම විශේෂත්වයක්.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක කිංග්ස් ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. කෙසේ වෙතත්, අනතුරුව මෙන්ඩිස් හා රුසෝව් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ ඉනිම නිමා වීමට පන්දු 26 ක් ඉතිරිව තිබියදීයි. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු ලකුණු 185* ක සම්බන්ධතාවය LPL ඉතිහාසයේ දී පිතිකරුවන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි.

මෙවර තරගාවලියේ දී තමන් වාර්තා කළ දෙවැනි ශතකය ද වාර්තා කළ රුසෝව් පන්දු 53 කින් නොදැවී ලකුණු 106 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හයේ පහර 7 කින් හා හතරේ පහර 9 කින් වර්ණවත් වුණා.

ඊයේ දිනයේ දී ද ශතකයක් වාර්තා කළ මෙන්ඩිස් පන්දු 40 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72 ක්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 8 ක් සමගින්.

අවසන් තරගය නැරඹීම සදහා හා සම්මාන ප්‍රදානෝත්සවය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති Greg Barclay ද එක්ව සිටියා.

අවසන් මහා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ රයිලී රුසෝව්. තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය චමිදු වික්‍රමසිංහ විසින් දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...