වනිදුගේ තුන් ඉරියව් දක්ෂතා චන්දිගේ ඉනිම හමුවේ අපතේ යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් ලැබූ පළමු පරාජය අත්විදීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අද(4) සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ 11 වන තරගයෙන් ඔවුන් කලම්බු කිංග්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජය වීම හේතුවෙන්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ස්ටැලියන්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.

සියලු පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට නොලැබෙද්දී ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය වනිදු හසරංග පන්දු 23කින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඒ, එක් හයේ පහරක් සහ අලංකාර හතරේ පහර 7ක් ඉනිමට එක් කරමින්.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 26ක් සහ මිනෝද් භානුක ලකුණු 21ක් ලබා ගත් අතර, පළමු එල්.පී.එල් තරගයට ක්‍රීඩා කළ ජොන්සන් චාර්ල්ස් ලකුණු 7කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් කඩුලු 3ක් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කිංග්ස් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

ඉනිමේ නැංගුරම බවට පත් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 51කින් නොදැවී ලකුණු 68ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින්.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22කට දැවී ගිය අතර, ඇන්ඩ්‍රි රසල් පන්දු 20කින් ලකුණු 32ක් රැස් කළා.

රසල්ගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 23කට කඩුලු දෙකක් බිද හෙලූ අතර, මංගල එල්.පී.එල් තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 29කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඔහු දවා ගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කඩුල්ල වන අතර, එම කඩුල්ල දවා ගැනීම වෙනුවෙන් ෂොයිබ් මලික් විශිෂ්ඨ උඩ පන්දු රැක ගැනීමක ද නිරත වුණා.  (දර්ශන පහතින්)

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දිනේෂ් චන්දිමාල්.

මෙම තරගයෙන් පරාජයට පත් වුවද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තමන් සතු කර ගෙන සිටිනවා.

මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ කලම්බු කිංග්ස් කණ්ඩායම මේ වන විට දෙවන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...