මහනුවර ප්‍රේක්ෂකයන්ට සතුටුදායක ආරංචි දෙකක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (30) වන විට තරග හතරක් පවත්වා අවසන්.

ක්‍රීඩා කළ තරග දෙකම ජයග්‍රහණය කළ කලම්බු කිංග්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනාගෙන සිටිනවා.

එමෙන්ම තමන් ක්‍රීඩා කළ එකම තරගය ජයග්‍රහණය කරමින් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන හා තෙවන ස්ථාන වෙන්කරගැනීමට සමත්ව තිබෙනවා.

මුහුණ දුන් තරග දෙකම පරාජයට පත් වූ කැන්ඩි ටස්කර්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ පිළිවෙලින් සිව්වන හා පස්වැනි ස්ථානවලයි.

මේ අතර, ගාලූ කණ්ඩායම සමගින් අද පැවැත්වෙන තරගය සදහා විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකු ක්‍රීඩා කරවීමේ අවස්ථාව මෙවර තරගාවලියේ දී පළමුවරට මහනුවර කණ්ඩායමට උදා වී තිබෙනවා.

ඒ, එම කණ්ඩායම වෙනුවෙන් තෝරා ගෙන ඇති ඉන්දිය වේග පන්දු යවන ක්‍රීඩක මුනාෆ් පටෙල් හා සිම්බාබ්වේ පිතිකරු බ්‍රෙන්ඩන් ටේලර් මේ වන විට සිය නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති බැවින්.

ප්‍රථම තරගයෙදී මහනුවර කණ්ඩායම විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙකු සමග ක්‍රීඩා කළ ද එම තරගයෙදී ඉර්ෆාන් පතාන් ආබාධයකට ලක්වුණා.

ඒ හේතුවෙන් සහ නිරෝධායන කාලසීමාවන් පිළිබද ගැටලු හේතුවෙන් දෙවන තරගයේදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණයි.

ඉර්ෆාන් පතාන්ට අද තරගය සදහා ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් නිල තොරතුරු වාර්තා වන්නේ නැහැ.

එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු ලෙස හදුනා ගත් පාකිස්තානයේ සොහයිල් තන්වීර්ට ද තවදුරටත් තරග ක්‍රීඩා කිරීම සදහා අවසර හිමි වී නැහැ.

ඔහු මේ වන විටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන්.

මේ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් අද(30) දිනයෙදී දිවයිනට පැමිණිමට ද නියමිතව සිටිනවා.

කෙසේ වෙතත්, නිරෝධායන කාලසීමාවක් ගත කිරීමට සිදු වන බැවින් ඔහුට සතියක් යන තුරු තරග සදහා ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...