මෙන්ඩිස්ගේ ශතකය හා දුනිත් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක් උරුම කරයි

Date:

ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් ඉතිහාසයේදී ලකුණු පරතරය අතින් ශ්‍රී ලංකාව වාර්තා කළ දැවැන්තම තරග ජයග්‍රහනය වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(14) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීම සදහා ලකුණු 282 ක ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට හිමි වූ නමුත්, ඔස්ට්‍රේලියානු පිලේ සියලු දෙනා පන්දුවාර 24.2 ක් තුළ ලකුණු 107 කට දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 174 ක දැවැන්ත ජයක් හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා. අනර්ඝ ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් සිය පස්වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 101 ක් ලබා ගත්තේ පන්දු 115 කින් හතරේ පහර ද 11 ක් සමගින්.

අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට මෙම තරගය වෙනුවෙන් කැදවූ නිශාන් මදුෂංක ලකුණු 51(70) ක් රැස් කළා. නිශාන් හා මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 98 (115) ක්.

පළමු තරගයේ දී ශතකයක් වාර්තා කළ නායක චරිත් අසලංක මෙම ඉනිමේදී පන්දු 66 කින් නොදැවී ලකුණු 78 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන්නා. හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චරිත් හා මෙන්ඩිස් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 94 (104) ක්.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32(21) යි. ජනිත් හා අසලංක පන්දු 35 කින් ලකුණු 66 ක වේගවත් නොබිදුණු සම්බන්ධතාවයක් 5 වැනි කඩුල්ලට ගොඩ නගමින් ශ්‍රී ලංකාව ලකුණු 280 සීමාව ඉක්මවා රැගෙන ගියා.

පන්දු යැවීමේදී Ben Dwarshuis, ආරෝන් හාර්ඩී, ශෝන් ඇබෝට් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ නායක ස්ටීවන් ස්මිත්. ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 22 කටත්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 18 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා වනිදු හසරංග කඩුලු 3 බැගින් බිද හෙලුවා. ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගත්තේ අසිත ප්‍රනාන්දු විසිනුයි.

තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් ද, තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...